Breaking News

පාරවල් හදන්න අධ්‍යාපනයටත් වඩා මුදල් වෙන්කරන රටක අවිධිමත් පාරවල් නිසා මියයන අපේ දරුවෝ

පාරවල් හදනවා. පදිකයන්ට යන්න ඉඩක් නැහැ. කාණු කොහොමත් නැහැ. කාණු හදනවා කවරින් ස්ලැබ් නෑ. කවරින් ස්ලැබ් හදනවා ශක්තියක් නෑ.

අපේ රටේ අරුම පුදුම සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් තවත් දරුවෙක් ඊයේ ජීවිතයෙන් සමුගත්තා. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කුරුණෑගල මලියදේව ආදර්ශ මහා විද්‍යාලයේ නවය වසරෙහි අධ්‍යාපනය ලබමින් සිටි කුරුණෑගල ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචි සචිත්‍ර සේනාරත්න නමැති ශිෂ්‍යයෙක්. ඔහු තමන් පදිංචි නිවස ආසන්නයේදීම මෙම අනතුරට ලක්වී ඇත.

ජලය පිරුණු බෝක්කුවකට ඇද වැටී පැයකට ආසන්න කාලය මේ දරුවා සිරවී සිට තිබෙනවා.

පාසල නිම වීමෙන් අනතුරුව නිවසට යාම සඳහා පාසලේ සිට ජයන්තිපුර ප්‍රදේශයට පිවිසෙන අතුරු මාර්ගයක ගමන් කරමින් සිටියදී ඔහු මෙම අනතුරට මුහුණපා ඇති බව පොලීසිය කියයි.

කුරුණෑගල බණ්ඩාරනායක විදුහලේ සිට සිසුන් ප්‍රවාහනය කරන වෑන් රථයකට ඉඩ දීම සඳහා මාර්ගය අයිනට වීමේදී ලිස්සා ගොස් ඔහු ඇල මාර්ගයට ඇද වැටී ඇති බව කියයි. ජල මාර්ගයේ ගසාගෙන ගොස් ඔහු බෝක්කුව තුළ සිරවී ඇත.

පාර හැදීම අධීක්ෂණය කල නිළධාරින්, මුදල් ගෙව්ම් අනුමතකල නිළධාරින්, මුදල් ලබා ගත් කොන්ත්‍රාත්කරු දේශපාලන හිතවත්කම් මත කොන්ත්‍රාත්කරුවන් ට ව්‍යාපෘති ලබාදීම අනුමත කරන දේශපාලනඥයන් ඇතුළු මේ සියලු දෙනා ඒ මරණවලට වගකිව යුතුය. අපේ රටේ මේ ආකාරයට ප්‍රමිතියකින් තොර මාර්ග පද්ධතියක් පවතින්නේ පසුගිය අවුරුදු කිහිපයේම පොදු ප්‍රවාහනයට, අධ්‍යාපනයට, සෞඛ්‍යට වෙන් කරනවාට වඩා වැඩි මුදලක් මහා මාර්ග සංවර්ධනය සඳහා වෙන් කර ඇති තත්ත්වයක් යටතේයි.

leave a reply