Breaking News

විදුලි බිල වැඩිකිරීමෙන් භාණ්ඩ සහ සේවා රැසක මිල ඉහළට

විදුලිය අඩුවෙන භාවිතා කරන අයට ලබාදෙන දඬුවමක් වැනිවූ විදුලි බිල සියයට 75න් ඉහළ දැමීමේ තීරණය නිසා භාණ්ඩ හා සේවා රැසක මිල ඉහළ යාමේ අවධානමක් මතුව තිබේ.

විදුලි ඒකක 30ට අඩුවෙන් පරිභෝජනය කරන පිරිසට විදුලි බිල 264%න් ද ඒකක 31-60ත් අතර අයට 211%න් ද , ඒකක 61-90 යි අතර අයගේ 125%න් ද, ඒකක 90-120 අතර අයගේ 89%න් ද විදුලි බිල ඉහළ යනු ඇත. මෙහිදී සත්‍ය ලෙසම විදුලි බිල 75% න් වැඩිවී ඇත්තේ ඒකක 120ත් 180ත් අතර පාවිච්චි කරන පිරිසට පමණි.

විදුලි ගාස්තු සියයට 75 කින් ඉහළ දැමීමත් සමඟ ඉතිරි වී තිබෙන කුඩා කර්මාන්ත වැසීයෑමේ දැඩි අවධානමකට පත්ව ඇති බවත් ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි කර්මාන්තවල විදුලි ගාස්තු වැඩිවූයේ කෙසේදැයි පැහැදිළි කළ යුතු බවත් සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ ජාතික සංවිධායක නිරුක්‍ෂ කුමාර පවසා ඇත.

බොහෝ කුඩා කර්මාන්තවල රුපියල් 3,000 ක්ව පැවැති මාසික විදුලි බිල මෙම ගාස්තු ඉහළ දැමීමත් සමඟ රුපියල් 9000 ක් 10,000 ක් බවට පත්වන බවත් සත්ව ආහාර නිෂ්පාදනය සහ යෝගට් වැනි කර්මාන්ත දැඩි අර්බුදයකට පත්වන බවත් ඔහු අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ශීතකරණවල තබන යෝගට්, අයිස් පැකට්, අයිස් ක්‍රීම්, බීම බෝතල් සහ කුකුළු මස් ඇතුළු බොහෝ ආහාර සහ පාන වර්ගවල මිල ඉහළ යනු ඇති බවත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසා තිබේ.

විදුලි ගාස්තු ඉහළ දැමීමට සාපේක්‍ෂව ඡායාපිටපතක සහ මුද්‍රිත පිටපතක ගාස්තුව අවම වශයෙන් රුපියල් 5 කින් ඉහළ දැමීමට සිදුවන බවත් අසාධාරණ ලෙස විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය පළකරමින් සෑම නිවසකම සහ ව්‍යාපාරික ස්ථානයකම කළු කොඩියක් ඔසවන ලෙස ඉල්ලා සිටින බවත් සමස්ත ලංකා කොමිනිකේෂන් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් ද අද පැවසීය.

leave a reply