Breaking News

වන්නියේ කඳවුරු ලාගත් ඉඩම් දෙන්න බෑ – හමුදාව කියයි

දෙමළ ජනතාවට නීත්‍යනුකුලව අයත් පෞද්ගලික ඉඩම් අත්පත්කරගනිමින් වන්නියේ ආරක්ෂක සේනා මුලස්ථානයක් ඉදි කර තිබෙන භුමි භාගයක් නිදහස් කරගැනීමට හමුදාපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ සමඟ සාකච්ඡාවකට කැඳවනු ලැබූ ඉඩම් හිමියන්ට හිස් අතින්ම ආපසු එන්නට සිදුවී තිබෙන බවට වාර්තා වනවා.

වන්නි ආඥා මුලස්ථානයට ගියත් හමුදාපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ, ඉඩම් හිමියන් මුණ නොගැසීම පිටව ගොස් තිබෙන අතර පසුව සෙසු හමුදා නිලධාරීන් ඉඩම් හිමියන්ට දැනුම් දී ඇත්තේ හමුදා ආඥා මූලස්ථානයක් ඉදි කර තිබෙන භුමිය නිදහස් කළ නොහැකි බවයි.

සිය පාරම්පරික ඉඩම් වෙනුවෙන් විකල්ප ඉඩම් ලබා දීමට කෙරෙන යෝජනාව ප්‍රතික්ෂේප කරන ද්‍රවිඩ මවක් සඳහන් කර තිබෙන්නේ, හමුදා නිලධාරීන්ගේ එම ප්‍රකාශයත් සමඟ සිය ඉඩම් පිළිබඳව වූ බලාපොරොත්තු සම්පුර්ණයෙන්ම විනාශ වී ගිය බවයි.

“එයාලා අපිට පින්තුර දාලා සිතියම් ඇඳලා පෙන්නනවා අණදෙන කාර්යාලය කියන්නේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මුලතිව්වල තිබිය යුතුම දෙයක් කියලා. මේ අණදෙන කාර්යාලය මැදින් තියාගෙන ආරක්‍ෂිත ඉඩම් දෙනවාලු. අක්කර දෙකක හිමිකරුවන්ට ඒ අක්කර දෙකක් දීලා ඇතුලේ නිවාස ව්‍යාපෘතියක් හදනවා කියලත් එහිදී අපිට කිව්වා. මේක සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු සුන්වීමක්”

යුද හමුදාපතිවරයා මාර්තු 27 වැනිදා මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය වෙත පැමිණෙන බව සැලවීමත් සමඟ සිය ඉඩම් නිදහස් කරන ලෙස බලකරමින් විරෝධයක් දියත් කිරීමට එම ඉඩමේ හිමිකරුවන් කටයුතු සුදානම් කර තිබුණා.

හමුදාපතිවරයා මුණගැසී ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉඩම් හිමියන් පස් දෙනකුට එදින හවස තුනට පමණ අවස්ථාව ලබා දෙන බවට එම මුලස්ථානයේ හමුදා ප්‍රධානින් පොරොන්දු වීම නිසා අනතුරුව දෙමළ ජනයා විරෝධය දියත් කිරීම නතර කළ බව පැවසෙනවා.

පොරොන්දු වූ පරිදි යුද හමුදාපතිවරයා එදින ඉඩම් හිමියන් සමඟ සාකච්ඡා නොකර පස්වරු පහට පමණ ගුවනින් එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

පසුව මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ උසස් නිලධාරීන් කිහිප දෙනකු රාත්‍රී 7.45 ට පමණ විරෝධතාවයට පැමිණ සිටි ඉඩම් හිමියන් පස් දෙනකු සමඟ සාකච්ඡා කර එම මුලස්ථානය මුලතිව්හි තබා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළ බවයි වාර්තා වන්නේ.

බලාපොරොත්තු බිඳ දැමූ සාකච්ඡාවෙන් අනතුරුව ඇය මාධ්‍යවේදීන් සමඟ කියා සිටියේ සිය පාරම්පරික ඉඩම වෙනුවට මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය දෙපස විකල්ප ඉඩම් ලබා දෙන බව හමුදා ප්‍රධානින් පැවසුවත් විකල්ප ඉඩම් ලබා ගැනීමට තමන් සුදානම් නොමැති අතර මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවධානය යොමු කළ යුතු බවයි.

කේපාපුලව් හි පමණක් ද්‍රවිඩ පවුල් 62 ට අයත් ඉඩම් අක්කර 170ක් හමුදා කඳවුර සඳහා බලහත්කාරයෙන් අල්ලා ගත් බවයි පැවසෙනවා.

යුද හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත්කරගෙන සිටින සිය ඉඩම් නිදහස් කරන ලෙස බල කරමින් 2017 වසරේ මාර්තු 1 වැනිදා කේපාපුලව් හී පිහිටි මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය ඉදිරිපිට දී ඉඩම් හිමියන් විසින් දියත් කළ විරෝධතා මාලාවක් හමුවේ අදියර දෙකක් යටතේ ඉඩම් ප්‍රමාණයක් නිදහස් කිරීමට යුද හමුදාව කටයුතු කර තිබුණා.

එහෙත් පෞද්ගලික ඉඩම්, ආගමික ස්ථාන, ක්‍රීඩා පිටි, පොදු ශාලා, නිවාස සහ කෘෂිකාර්මික ඉඩම් පිහිටි භුමියක් අත්පත්කරගනිමින් යුද හමුදාව ආරක්ෂක සේනා මුලස්ථානය ඉදිකොට ඇති බවයි වාර්තා වන්නේ.

තමන්ගේ වගා ඉඩම්ද යුද හමුදාව විසින් අත්පත්කරගැනීම නිසා තම දෙමළ ජනතාවගේ ආදායම්ද හමුදාව විසින් භුක්ති විදින බවට චෝදනා කරන පිරිස කියන්නේ යුද්ධය අවසන් වී වසර 15 ක් ගතවී ඇතත් තමන් තවමත් යුද අනාථයන් ලෙස ජීවත් වන බවයි.

leave a reply