Breaking News

ඔයාමඩුවෙන් මතුවන අලුත්ම අලි ප්‍රශ්නය

කැලුම් මහේෂ් - සභාපති හුස්ම සංවිධානය

ගරු ධම්මික පටබැදි මහතා
පරිසර අමාත්‍ය
පරිසර අමාත්‍යාංශය
සොබාදම් පියස
බත්තරමුල්ල

අලි පලවහැරීම් හේතුවෙන් ඔයාමඩුව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල ගොවිපොළ පරිශ්‍රයේ කුස ගින්නේ සිරවී සිටින අලි රංචු ඔවුන්ගේ වාසභූමි වෙත යොමුකිරීම

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අලි-මිනිස් ගැටුම් අවම කරගැනීම සඳහා බව පවසමින් ශ්‍රාවස්තිපුර, තඹුත්තේගම, විලච්චිය, මොරගොඩ සහ තන්තිරිමලේ යන ප්‍රදේශවල ජීවත්වූ වන අලින් විල්පත්තුව ජාතික උද්‍යානය දක්වා පළවාහැරීමට දරන ලද අසාර්ථක උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස මේ වන විට ගැහැණු සතුන් සහ පැටවුන් ඇතුළු අලි ඇතුන් 150 ක පමණ සංඛ්‍යාවක් දැනට සතියකට වැඩි කාලසීමාවක් තිස්සේ ඔයාමඩුව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල ගොවිපොළ පරිශ්‍රයේ කුස ගින්නේ සිරවී සිටින බව අප නිරීක්ෂණය කළෙමු.

එම සතුන් රාත්‍රී කාලයේ ආහාර සොයා ගම්වැදීම හෝ ඔවුන්ගේ ස්වභාවික සංක්‍රමණ මාර්ග ඔස්සේ උක්ත ගොවිපොළ පරිශ්‍රයෙන් පිටව යාම වළක්වාලමින් ප්‍රදේශයේ ජනතාව මේ වනවිට එම අලි රංචුව ගොවිපොළ පරිශ්‍රයේ සිරකර තබාගෙන ඇත. මේ ආකාරයෙන් විශාල වන අලි රංචුවක් ඉතා කුඩා ප්‍රදේශයක දීර්ඝ කාලයක් සිරවී සිටීම හේතුවෙන් එම සතුන් කුසගින්නේ පීඩා විඳීමට සහ විශේෂයෙන් කුඩා පැටවුන් මරණයට පත්වීමට හැකියාව පවතී.

මෙම තත්ත්වය කළමනාකරණය කරගැනීම සඳහා එම සතුන්ට ඔවුන්ගේ ස්වභාවික සංක්‍රමණ මාර්ග ඔස්සේ උක්ත ගොවිපොළ පරිශ්‍රයෙන් පිටව යාමට අවස්ථාව සලසා දීමටත්, එම සංක්‍රමණය නිරීක්ෂණය කරමින් එම ගමන් මාර්ගයේ සිදුවන දේපොළ සහ භෝග හානි සඳහා වන්දි ගෙවීමටත් රජය මගින් කටයුතු කිරීම සුදුසු බව අප සංවිධානය යෝජනා කරමු. ප්‍රදේශයේ වනජීවී සංරක්ෂණ නිලධාරීන් මෙන්ම ගම්මුන් පවා මෙම යෝජනාවට එකඟවන නමුත් ප්‍රදේශය භාර ආණ්ඩුකාර තැන, දිස්ත්‍රික් ලේකම්, සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වැනි රජයේ උසස් පරිපාලන නිලධාරීන් එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට උනන්දු නොවීම නිසා තව දුරටත් එම සතුන්ට නිරාහාරව දැඩි මානසික ආතතියකින් එම ප්‍රදේශයේ සිරවී සිටීමට සිදුවී ඇත.

මෙය ප්‍රදේශයේ අලි ඇතුන් සංරක්ෂණය සම්බන්ධයෙන් කොහෙත්ම ශුභදායී තත්වයක් නොවන අතර වනජීවීන් සම්බන්ධයෙන් මෙරට බලධාරීන් දක්වන අකාරුණිකත්වය සහ කෘරත්වය ලොවට හඬගා කියයි. මෙම තත්ත්වය පිළිබඳව යම් හෙයකින් ජාත්‍යන්තර අවධානය යොමු වුවහොත් එය මෙරට වනජීවී සංරක්ෂණය සහ සත්ව ශුභසාධනය සම්බන්ධයෙන් කළු පැල්ලමක් වන බව නොඅනුමාන වන අතර එය මෙරට සංචාරක කර්මාන්තයටද අහිතකර ලෙස බලපෑම් ඇතිකළ හැකිය.

එබැවින් මේ පිළිබඳව ඔබගේ කාරුණික අවධානය යොමුකර මෙසේ සිරවී සිටින අලි ඇතුන්ට ගොවිපොළ පරිශ්‍රයෙන් මිදී වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීමටත් එය සමීපව නිරීක්ෂණය කරමින් ජනතවට සිදුවන යම්කිසි හානියක් වෙතොත් ඒ සඳහා වන්දි ගෙවීමටත් සුදුසු වැඩපිළිවෙලක් කඩිනමින් සකස්කරන ලෙස අප ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිමු.

මේ පිළිබඳව ඔබ දක්වන උනන්දුව ඉතා ඉහළින් අගයකොට සලකමි.

කැලුම් මහේෂ් – සභාපති හුස්ම සංවිධානය

leave a reply