අටළුගම ප්‍රදේශයේ දැරියක් ඝාතනය වීම ගැන මේ දිනවල මාධ්‍ය හරහා විවිධ පුවත් සංසරණය වෙනු දක්නට ලැබේ. අද වාර්තා වුණු ප්‍රවෘත්තියකින් කියවුනේ ළමා රක්ෂණ අධිකාරියත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි.
නමුත් තවත් කෙටි දිනකින්ම මෙය විකිණිය නොහැකි පරණ පුවතක් වූ වහාම අපිට මෙය අමතකව යනු ඇත. පසුගිය පරීක්ෂණවලට සිදුවූ ආකාරයටම මේ සිදුවීම සම්බන්ධ ළමා ආරක්ෂණ අධිකාරියේ පරීක්ෂණයද යට යනු ඇත. පරීක්ෂණ පැවැත්තුවත් ඒ සම්බන්ධ නඩු විභාග වසර ගණනක් ඇදී යනු ඇත. අපේ රටේ ළමයින් සුරක්ෂිත කිරීම සඳහා තිබෙන ආයතන සහ නීතිවල තත්ත්වය එයයි.
නමුත් ගැටලුව ඇත්තේ එයට ඉඩ දිය යුතුද යන්නයි. ඇතැම් පිරිස් මෙම සිදුවීමෙන් පසු අම්මලාට තාත්තලාට දරුවන් බලාගැනීම ගැන උපදෙස් දෙනු දැකිය හැකිවිය. සමාජයම කුණු වූ පසු අපේ පවුල පමණක් ඉන් බේරී සිටිය හැකි යයි සිතීම නරුමකමකි.
මෙහිදී අයේෂාගේ සිදුවීම ගැන කතා බහ මතුවීමට ටික දිනකට පෙර සමාජ මාධ්‍යවල අවධානය යොමුවූ තවත් සිදුවීමක් වූවේ චීවරධාරියෙක් විසින් ගැහැණු දරුවන් උපදින්නේ දෙමව්පියන් බොරු කී පසු බවට සිදුකරන ලද ප්‍රකාශයයි. එසේම ගැහැණුන්ගේ ඔළුවේ උකුණන් සිටින්නේ පෙර ආත්මයේ සිටින ලද ප්‍රේමවන්තයින් ප්‍රමාණය අනුව බවට ප්‍රකාශයක් කරනු සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය විය.
මෙම චිවරදාරින් පෝෂණය කරන මතය කුමක්ද? ගැහැණුන් යනු පව්කාරකමක ප්‍රතිවිපාකයකි. ඔවුන් ස්වභාවයෙන්ම පහසුවෙන්ම පව් කිරීමට කැමති පාපී කොට්ඨාශයකි. දුර්වල කොටසකි. මේ හරහා අනියමින් පැවසෙන්නේ මනුෂ්‍යයෙකු ලෙස ගෞරවනීය ජිවිතයක් ලැබිය යුතු නැති බවයි. මෙය ගැහැණිය සම්බන්ධයෙන් පවතින අධිපති මතවාදයයි.
ඒ අනුව ගැහැණු, පිරිමි අපි සියලු දෙනා මෙවැනි බණවලට ප්‍රතිවිරෝධතා නොදක්වා අසා සිටීම ගැන පුදුම විය යුතු නැත. ඒ දැනට සමාජයේ තහවුරු කර ඇති මතයයි. නමුත් ඊළඟ ගැටලුව වන්නේ මෙම මතවාද සමාජය තුළ සේවය කරන්නේ කාටද සහ ඉන් ඇතිවිය හැකි ප්‍රතිවිපාක කුමක්ද යන්නයි.
මෙවැනි මතවාද සේවය කරන්නේ ‘සර්ලා’ බලයට ගෙනවිත් සියල්ල කරන තුරු බලා සිටින සමාජයකටයි. සාමාන්‍ය මිනිසුන් ලෙස අපිට නැති බලයක් එම ‘සර්ලාට’ ඇති බව සිතන සමාජයකටයි. එවැනි දේ විශ්වාස කරන සමාජයක දුර්වලයන් යනු පයට පෑගෙන දුවිල්ලකි. ඔවුන්ට මනුෂ්‍යයින් ලෙස සැළකුම් නොලැබුණාට අවුලක් නැත. ඉතින් කුඩා වයසේදී පටන් ගැහැණුන්, සුළු ජාතින්, වෙනස් ලිංගික අනන්‍යතා සහිත වූවන් පටන් සියලු දුප්පතුන් දක්වා මෙම මතවාද විසින් ඇතිකරන විවිධ පීඩාවන්ගේ ගොදුරු බවට පත්වේ . එවැනි සමාජයක අයේෂලා, ඉෂාලිනිලා, සේයලාගේ ආරක්ෂාව යනු සිහිනයකි.
මේ මොහොත යනු ජනතාව ලෙස අපට නැති බලයක් පාලකයන්ට ඇති බව තවදුරටත් විශ්වාස නොකරන මතය වේගයෙන් පැතිර යන කාලයකි. එම අරගලවල ගැහැණුන් ද සම සමව පෙරමුණ ගෙන ඇති බව දක්නට ලැබේ. එසේ නම් ගැහැණු , පිරිමි අපි සියලු දෙනා ආර්ථික ප්‍රතිසංස්කරණ සේම ගෞරවනීය ලෙස ජීවත් වීමට අපට අපගේ දරුවන්ට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලමින් අප අපේ සටන් පුළුල් කරගත යුතුය. තවත් දුරට සෑම දෙනාටම මිනිසුන් ලෙස ජීවත්වීමේ අයිතිය ලැබෙන යහපත් සමාජයක් දක්වා සටන ඉදිරියට රැගෙන යා යුතුය. තවත් අයේෂාලා, ඉෂාලිනීලා, සේයලා නිකරුනේ පස්යට සැඟව යාම වැළක්විය හැක්කේ එවිටයි.