Breaking News

ආර්ථික අර්බුදයේ වන්දිය ගෙවන පාසල් දරුවන් ගැන හෙළිදරව්වක්

පාසල් දැරියන් සනීපාරක්ෂක ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ඔසප් සමයේදී පාසලට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

විශ්ව විද්‍යාල සිසුවියන්, ගුරුවරියන්, මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවිකාවන් අතරද මෙම තත්ත්වය දක්නට ලැබෙන බව එම සන්ධානය පවසයි.

වැඩිවිය පැමිණි දැරියන් ඔසප් කාලසීමාවේ දී පාසලට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි ගුරු වෘත්තිය සමිති සමඟ ඒකාබද්ධව කොළඹ පසුගියදා (13) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පවසා සිටියේ.

විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශ වල දැරියන් මෙලෙස පාසල් නොපැමිණීමට පෙළඹී ඇති බවත් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරියක් සිටින රටක මෙය කණගාටුදායක තත්වයක් බවත් වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

මේ අතර, එම මාධ්‍ය හමුවට එක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ පවතින ආර්ථික තත්වය මත පාසල්වල උදෑසන රැස්වීමේ දී ක්ලාන්ත වී ඇද වැටෙන සිසුන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.

පාලකයන් විසින් ඇතිකරන ලද ආර්ථික අර්බුදයට ප්‍රධාන වශයෙන් වන්දි ගෙවමින් සිටින්නේ ප්‍රධාන වශයෙන් දරුවන් බව පෙනේ. ආහාර අර්බුදය, භාණ්ඩවල මිල ඉහළ යාම තව තවත් වැඩිවීම හරහා මෙම තත්ත්වය දෙගුණ තෙගුණ වනු ඇත.

leave a reply