Breaking News

පුද්ගලයාන් කලුම කලු හෝ සුදුම සුදු නොවේ

දර්ශනී අබේසිංහ

නොදන්නා නොහඳුනන මිනිසුන්, ඔබව හදවතේ තියාගෙන හිටිය බව දැනගත් මොහොතක, ඔබේ හදවතට දැනෙන හැඟීම, අකුරු කල නොහැකි වනු ඇත. ඒ චිත්ත ප්‍රමෝදය පැහැදිලි කිරීමට ප්‍රමාණවත් වචන සොයා ගැනීමට උගහට ය.

මෙලොව ඉපිද, ජීවත්ව සිට, මියෙන සෑම පුද්ගලයෙකුට ම, අටලෝදහමට මුහුණ පෑමට සිදුවන බව අප දනිමු. සෑම පුද්ගලයෙකුම කලු, සුදු හෝ අලු පැහැයෙන් යුක්තය. පුද්ගලයා කලුම කලු හෝ සුදුම සුදු නොවන අතර, ඒ අතරමැද අලු පාට බව මගේ පිලිගැනීම යි. ඒ විවාදයට කරුණක් නොව, මා ද, ඔබ ද, හොඳ නරක දෙකේ සංකලනයක් වන අතර, දියෙන් කිරි වෙන් කරන හංසයෙකු සේ හොඳ තෝරා බේරා ගැනීමට ඇති දක්ෂතාවය එක් එක් මට්ටමින් විය හැකි බැවින් විවිධ චරිතාපදාන මේ සමාජය තුල ඔබට මට මුණගැසෙනු ඇත. මුණගැසීමට නියමිත ය.

එය එසේ වන කල්හි; ඔබ ද මා ද ඇතුලුව අප සියලු දෙනාම එක් එක් චිත්ත සන්තානයන් තුල විවිධ මට්ටමින් සිත් දිනාගත්තවුන් වන්නාහු ය.

අප විසින් හාංකවිසියක් නොදැන සිටි සිද්ධීන් අරඹයා සිය හදවත් තුල ඉහල ස්ථානයක අපව රඳවා සිටින අයෙක්, හෝ අයවලුන් ඔබට මුණ ගැසී තිබේද?

ඒ නම් සැබෑම සන්තුෂ්ටිය දනවන කාරණයකි.

ජීවිතයේ එක් එක් අවස්ථාවන් වල මුණ ගැසී ඇති පුද්ගලයෙකු, පුද්ගලයන් තුල අප විසින් නොසිතා ඇති කරන ලද පැහැදුල් චෛතසික දිනක ඔබ ඉදිරියට පැමිණ විවෘත කරන විට ඔබ සිත අමන්දානන්දයට පත්වෙනු නොඅනුමානය. එවන් අත්දැකීම් සඳහා ගුරු මව්පිය වරුන් නිරන්තරව නිරාවරණය වීම සුලබ නමුත් මානව සම්බන්ධතා හි අඩුවෙන් යෙදෙන වෙනත් වෘත්තිකයින් වෙත එම අත්දැකීම වෘත්තීය මට්ටමින් ලැබීම ද ප්‍රමෝදයට කාරණයකි.

දෙවනුව, බොහෝ කලකට පෙර මුණ ගැසී, ආගිය තොරතුරු බෙදාහදාගත් පමණකින් හිතවත් කම් ඇති කරගත් නමුත් ඉන් පසුකාලීනව බොහෝ දුරස්ව, මතකයෙන් පවා ඈතට ගිය, හිත බදා වැළඳගත් බවක් නොදැන කාලයට යටව ගිය සහෝදරකම්, මිතුරුකම්.. හදිසියේ ඔබ වෙතට විත් පාන සෙනේවත් කම් දැනී තිබේ ද?

ඔබ දැකුම, ඔබ ඇසීම, ඔබ ව නැවත මුණගැසීම පවා ඉතා විශාල සතුට ට කාරණයක් බව ඔබට හෘදයාංගම ව ප්‍රකාශ කලොත් ඔබට දැනෙන හැඟීම කෙසේ වනු ඇත් ද? කාලාන්තරයක් තිස්සේ ඔබේ හොඳ, හදවතේ තියාගෙන සිටීම ම ඉතා විශාල හදවතකින් ඔබව අවංකවම අගය කිරීමම ද සත්‍ය වශයෙන්ම ආශීර්වාදයකි.

තෙවනුව, නවීන තාක්ෂණික ලෝකය තුල විශ්වයම ගම්මානයක් බවට පත් ව ඇති කාලයක, ඔබට මට පුද්ගල සම්බන්ධතා රාශියකට නිරාවරණය වීම නොවැලැක්විය නොහැකිය. එසේ හෙයින්, විවිධ වූ මානසික මට්ටම්, සමාජ මට්ටම් තෝරා බේරා ගැනීමකින් තොරව අපි සම්බන්ධතා ගොඩනගා ගන්නෙමු. ඒ ඒ අයගේ අත්දැකීමි, සමාජ මට්ටම්, අධ්‍යාපන මට්ටම් වල දිග පලල අනුව නිරායාසයෙන්ම අපිව විග්‍රහ කෙරෙනු ඇත. පූර්ව නිගමන වලට එලැඹෙනු ඇත. ඒ එසේ වෙත්දී ත්… ඔබව හරියටම ග්‍රහනය කල අයෙක් ඔහුගේ හෝ ඈගේ හදවතේ උස් ස්ථානයක ඔබව රඳවා තබා ඇති බව, දිනයෙක ඔබට පැවසුවොත්, දැනුනොත්,.. ඒ කෙසේද?
එලෙස කෙලෙස දැනෙනු ඇතිද..?

ඉහත කී කාරණා තුනම අරඹයා වෙනත් සිත් තුල ඇති වන පැහැදීම ඔබට, මට සතුටක් වනවා සේම, ඔබේ මගේ හදවත් තුල ඇති වන පැහැදීම හේතුකොට ගෙන ඇතිවන සතුටුදායක හැඟීම ඒ අය උදෙසා හැකි සෑම අවස්ථාවකම ප්‍රකාශ කරන්නට උත්සාහ ගත යුතු බව මගේ හැඟීමයි.
මනුෂ්‍යයෙකු තුල මනුෂ්‍යයෙකු උදෙසා ඇතිවන හොඳ හිත ඉතාම ශක්තිමත් සිතිවිල්ලකි. විශ්වයේ යහපත් ශක්ති කිරණ ආකර්ෂණය කරන ප්‍රභල සිතිවිල්ලකි.

ඉපිද, මියෙන මේ සංසාර ගමන තුල හැකි උපරිම මට්ටමකින් විශ්වයට ආශීර්වාදයක් වීමත්, විශ්වයේ ආශීර්වාදට ලක් වීමත් ආශීර්වාදයක් ම ලෙස මම සලකමි.

එබැවින්, සෑම අවස්ථාවකදීම, අපට හැකි උපරිම මට්ටමකින් මනුෂ්‍යත්වයට ගරු කටයුතු ලෙස සැලකිය යුතු වෙමු යි මම ලියා තබමි.

leave a reply