වටවල වැවිලි සමාගමේ තිරිසනුන්ගේ වැඩ- පරිසරය වනසන මුන්වත් පන්නමු

වටවල වැවිලි සමාගම හෝමදොළ මූකලාන වනසයි

වටවල වැවිලි සමාගම භාරයේ පවතින හෝමදොළ මූකලාන සුවිශේෂී ජල පෝෂක කඳුවැටියකි. හෙක්ටයාර 6000 ක් පමණ වන හෝමදොළ වත්ත කන්නෙළිය හා නාකියාදෙනිය වන රක්ෂිතවලට මායිම් ව පිහිටා තිබේ. මෙම කඳුවැටියේ හෙක්ටයාර 16 ක් නැතහොත් අක්කර 40 ක් පමණ එළි කර වාණිජ වගා බිම් ව්‍යාප්ත කිරීමට වරින් වර සූදානම් වේ. ගාල්ල දිස්ත්‍රික්කයට අයත්, නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 219ඒ හෝමදොළ ග්‍රාම නිලධාරී වසමේ පිහිටි මෙම වනාන්තර කොටස මේ ආකාරයෙන් එළි කරමින් වගා බිම් ව්‍යාප්ත කිරීම මෙම සමාගම මගින් සිදු කරයි. එහි හානි කර බලපෑම්වලට 218බී උඩුගම, 219ඒ හෝමදොළ හා 219 උඩුගම නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම්වල ජීවත් වන ජනතාවට අඛණ්ඩ ව මුහුණ දීමට සිදු වේ.

දළ බෑවුම් සහිත මෙම කඳවැටිය එළි කිරීම හේතුවෙන් නාය යෑමේ දැඩි අනතුරක් නිර්මාණය විය හැකි ය. මෙම කඳුවැටියෙන් ආරම්භ වන අම්බලම්පිටිය දොළ, දෙල්ගහවිල දොළ, බැද්දෙගෙදර හන්දියෙ දොළ, දොඩංඕවිට දොළ, රත්නපාර්ක් ගම්මානය අසළ දොළ, කරාගොඩ ගෙදර ළඟ දොළ, හෝමදොළ රබර් කර්මාන්ත ශාලාව අසළ දොළ යන කුඩා දියදහරාවන් ගල් බැදි දොළට එක් වී ගිං ගඟ පෝෂණය කරයි.
අම්බලම්පිටිය දොළෙන් ජලය ලබා ගෙන මහගොවිපළ යායේ අක්කර 10 ක් පමණ ගොඩ බෝග වගා කිරීම ද කරාගොඩ ගෙදර ළඟ දොළෙන් ජලය ලබා ගෙන මුත්තෙට්ටුගොඩ කුඹුරු යායේ අක්කර 3 ක්, පල්ලෙවත්ත කුඹුරු යායේ අක්කර 9 ක් හා මහගොවිපළ කුඹුරු යායේ අක්කර 10 ක් පමණ වගා කිරීම ද සිදු කරයි.

මෙම කඳුවැටිය පාමුල පිහිටි 218බී හෝමදොළ ග්‍රාම නිලධාරී වසමේ ජීවත්වන පවුල් 150 ක් පමණ පානීය ජලය ලබා ගන්නේ මෙම කඳුවැටියෙන් පටන් ගන්නා දියදහරාවන් වලිනි. මෙම කඳුවැටිය ඔස්සේ ගලා එන අම්බලම්පිටිය දොළෙන් ජලය ලබා ගෙන උඩුගම නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ පවුල් 50 කට වැඩි ප්‍රමාණයක් ජීවත් වේ.

වටවල සමාගම විසින් වනාන්තර එළි කිරීම වරින් වර උත්සාහ ගන්නා අතර ඒ පිළිබඳ ව ජන මාධ්‍ය මගින් අනාවරණය කිරීම ද පාලනය කර තිබේ. විශේෂයෙන් වටවල සමාගම වෙළෙද දැන්වීම් මාධ්‍ය ආයතනවලට ලබා දෙන බැවින් එම ආයතන මෙම වන විනාශය පිළිබඳ ව අනාවරණය කිරීම ස්වයං වාරණයකට ලක් කර තිබේ.

ප්‍රදේශයේ ජනතාව එක් ව දැඩි බලපෑම් එල්ල කර මෙම වන විනාශය පාලනය කිරීම සඳහා උත්සාහ කළ ද මේ දිනවල විවිධ ස්ථානවල වාණිජ වගාවන් ස්ථාපිත කිරීම සඳහා විවිධ උත්සාහයන් ගනිමින් පවතී.

මෙම කඳුවැටියේ ලංකාවට ආවේණික ජීවීන් ඇතුළු ව සැලකිය යුතු ජෛව ප්‍රජාවක් වාර්තා වන අතර මෙම කඳුවැටියේ වනාන්තර එළි කිරීම හේතුවෙන් ගම් වදින ගෝනුන් වැනි සතුන් දඩයමට ලක් වේ. 2022 අප්‍රේල් මස 5 වන දින ද මේ ආකාරයෙන් ගෝනෙකු මරණයට පත් විය.
මේ හේතුවෙන් මෙම ජල පෝෂක වනාන්තර ප්‍රදේශය ජාතික පාරිසරික පනත යටතේ පරිසර ආරක්ෂණ කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කළ යුතු ව ඇත. ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ආයතන ක්‍රියාත්මක විය යුතු ව ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...