Breaking News

ඉදිරියේදී පැය 24ම අඳුරේ ඉන්න වෙන තත්ත්වයක්

වත්මන් ආණ්ඩුවේ අවිධිමත් කළමනාකරණය හේතුවෙන් ඉදිරියේදී පැය 24 ක විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවට විදුලි වෘත්තීය සමිති පෙන්වා දෙයි.

ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් පවසන්නේ ඉදිරියේදී ජල විදුලි උත්පාදනය සම්පූර්ණයෙන් ඇණහිටිනු ඇති බවයි. මෙම වසරේ ඉදිරි කාලය තුළ ප්‍රමාණවත් ජල ධාරිතාවයක් විදුලිය උත්පාදනය කිරීම සඳහා භාවිතා කරන ජලාශවලට නොලැබෙනු ඇති බවත් වර්ෂාව ලැබුණද මාසයකට හෝ ප්‍රමාණවත් ජල ධාරිතාවයක් ගබඩා කර ගැනීමට නොහැකි බවත් ඔහු සඳහන් කරනවා.

පසුගිය කාලයේදී ලැබුණු අධික වර්ෂාවෙන් ජලාශ සියල්ල පිරී ගියද එම ජල ධාරිතාවය සති දෙකක කාලයකටවත් ප්‍රමාණවත් නොවූ බව පෙන්වා දෙන රන්ජන් ජයලාල් පවසන්නේ ජලාශවල අධික ලෙස රොන්මඩ පිරී ඇති බවයි.

සාමාන්‍යයෙන් වසර පහකට වරක් වර්ෂාව අවම කාල සීමක් උදාවන බැවින් ඊට සූදානම් විය යුතු නමුත් විදුලිබල මණ්ඩලය ඒ සඳහා කිසිදු විකල්ප ක්‍රියාමාර්ගයක් සඳහා සූදානම්ව නොමැත. මේ වනවිට ඩීසල් භාවිතා කර විදුලි උත්පාදනය කිරීමද අර්බුදයට ගොස් ඇති අතර ඉතිරි වී ඇති එකම විකල්පය හැකිතරම් ගල් අඟුරු බලාගාරවලින් විදුලි ඉල්ලුම සපුරාලීමයි. කෙසේ නමුත් නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විටින් විට බිඳවැටීම් සිදුවන අතර ගල්අඟුරු මිලදී ගැනීමද අර්බුදයට ගොස් තිබෙනවා. එයට හේතුව ගල් අඟුරු මිලදී ගැනීමට ඩොලර් ප්‍රමාණවත් වීමයි.

ඩීසල් නොමැතිව අක්‍රිය වී ඇති කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ බලාගාර දෙක සඳහා අද(14) උදෑසන ඉන්ධන මෙට්‍රික් ටොන් 3,000ක් ලබා දීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟ වී තිබේ. නමුත් ඒ ඉන්ධන ප්‍රමාණවත් වන්නේ දින දෙකකට පමණක් බව විදුලි බල මණ්ඩල බලධාරීන් පවසා තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී, ඇන්ඩෲ නවමනි සඳහන් කර ඇත්තේ එම ඉන්ධන ලැබීමත් සමඟ අදාළ බලාගාර යළි පණගැන්විය හැකි බව ය.

පද්ධතියට සම්බන්ධ වෙනත් බලාගාර, යම් ප්‍රශ්නගත තත්ත්වයකට පත් නොවුණහොත් යළිත් විදුලි සැපයුම යථාවත් කළ හැකිබවයි.
එම ඉන්ධන තොගය ප්‍රමාණවත් වන්නේ දින දෙකකට පමණක් බව ඇන්ඩෲ නවමනි සඳහන් කර තිබේ.

ඒ අනුව තවත් ඉන්ධන තොග කඩිනමින් එම බලාගාර සංකීර්ණය වෙත ලබා දිය යුතුව ඇතැයි පැවසේ.

කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ බලාගාර දෙකක් ඩීසල් නොමැතිව ඊයේ (13) දහවල් අක්‍රිය කිරීමට සිදුවීමත් සමග ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලයට සිදුවිය.

එම බලගාර දෙක අක්‍රීය වීමෙන් ජාතික පද්ධතියට අහිමි වූ විදුලි ඒකක ප්‍රමාණය මෙගාවොට් 300 ක්.

මේ අතර මෙරට ජල විදුලි ජනනය දෛනික විදුලි අවශ්‍යතාවයෙන් සියයට 30 ක් දක්වා පහළ ගොස් ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි.

ඊට අමතරව දැවී තෙල් අර්බුදයකද මතුවීම හේතුවෙන් මෙම අර්බුදය තව තවත් උග්‍ර වෙනු ඇත.

විදුලිය විසන්ධි නොකරන බවට ජනතාවට පෙර දැනුම් දි තිබියදිත් ඊයේ රාත්‍රියේ ද විදුලිය විසන්ධි කර තිබුණි. මේ අනුව ඉදිරියේදී විදුලි අර්බුදය ඉදිරියේදී ආණ්ඩුවට කිසිසේත් පාලනය කරගත් නොහැකි මට්ටමට ලඟා වෙනු ඇති බවට මත පළවේ.

 

leave a reply