Breaking News

පරිසර විද්‍යාඥයින්ට පිරිනමන ‘ලීනියන් පදක්කම’ රොහාන් පෙතියාගොඩට හිමිවෙයි

පරිසර විද්‍යාඥයින්ට පිරිනමන නොබෙල් ත්‍යාගය ලෙස සැලකෙන ‘ලිනියන් පදක්කම’ (Linnean Medal) ශ්‍රී ලංකාවේ වනජීවී පර්යේෂණ ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති කළ කීරිතිමත් විද්‍යාඥයෙකු වන රොහාන් පෙතියාගොඩට මෙවර හිමිව තිබේ. එම පදක්කම දිනාගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඔහු ඉතිහාසයට එක්වෙයි.

ලන්ඩනයේ ලිනියන් සංගමය ස්වභාවික ඉතිහාසයට කැප වූ ලොව පැරණිතම ක්‍රියාකාරී සමාජයයි. විද්‍යාවට කරන සේවය සඳහා සංගමයේ ගෞරවය සහ අගය කිරීමේ ප්‍රකාශනයක් ලෙස ලෝකයේ විශිෂ්ඨ සේවයක් කළ විද්‍යාඥයින් එක් අයෙකුට හෝ දෙදෙනෙකුට (ඕනෑම ක්ෂේත්‍රයක) කවුන්සිලය විසින් වාර්ෂිකව පදක්කම් ප්‍රදානය කරනු ලැබේ.

සත්ත්ව විද්‍යාව සඳහා පිරිනමන පදක්කම (Linnean Medal – Zoology 2022) මෙවර රොහාන් පෙතියාගොඩට හිමිව තිබේ.

නව ජීව විශේෂ මෙන්ම ලොවින් වඳවී ගිය බවට විශ්වාස කළ ජීව විශේෂ 100ක් පමණ විදු ලොවට හඳුන්වාදුන් පර්යේෂකයෙකු , සත්ත්ව වර්ගීකරණ විද්‍යාඥයෙකු, ග්‍රන්ථ කතුවරයෙකු, කළමනාකරුවෙකු මෙන්ම ජීව වෛද්‍ය ඉංජිනේරුවෙකු වන රොහාන් පෙතියාගොඩ ශ්‍රී ලංකාවේ උභයජීවීන්, මිරිදිය මසුන්, මිරිදිය කකුළුවන් සහ සිවුපා උරගයින් ගැන පර්යේෂණ රැසකට දායකවී තිබේ.

තමන් සිදු කළ පර්යේෂණවලට අමතරව අංකුර පර්යේෂකයන්ට සහ ආධුනික විද්‍යාඥයින්ට නව පර්යේෂණ සඳහා මග පෙන්වීමට 90 දශකයේදී ඔහු වනජීවී උරුම භාරය (Wildlife Heritage Trust) ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකාවේ සත්ත්ව හා ශාක සන්තතිය පිළිබඳව නව දැනුම සමාජගත කිරීම සඳහා ඔහු මෙන්ම වෙනත් පර්යේෂකයන් විසින් රචනා කරන ලද කෘති රැසක් වනජීවී උරුම භාරය හරහා ප්‍රකාශයට පත්කිරීමට රොහාන් පෙතියාගොඩ ක්‍රියා කළේය.

එම කෘති ඕනෑම අයෙකුට අන්තර්ජාලය ඔස්සේ නොමිලේ බාගත කර ගැනීමට ඉඩ සළසා තිබීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ වනජීවින් පිළිබඳ විද්‍යාත්මක තොරතුරු ඇතුළත් ඉංග්‍රීසි බසින් පළ වූ ග්‍රන්ථ රැසක් සිංහල බසින් ප්‍රකාශයට පත්කිරීමට ඔහු විශේෂයෙන් කටයුතු කර තිබේ.

BBC ඇසුරිණි

leave a reply