පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය නිසා ගොවීන් රැසක් අවතැන් වන බව පහළ මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියෙන් අවතැන් වූ ජනතාවන්ගේ ගොවි සංවිධාන එකමුතුව පවසයි.
එම සංවිධාන එකමුතුව මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් මේ බව සඳහන් කළේය.
එහි කැදවුම්කරු අමරසිංහ මහතා කියා සිටියේ 2021 අප්‍රේල් මස එම බහුකාර්ය ජල ව්‍යාපෘතිය මුල් ගල් තබමින් ආරම්භ කළත් මේ වන තෙක් ගොවීන්ට සිදුවන හානිය පිළිබදව හෝ ඒ හේතුවෙන් අවතැන් වන පවුල් සංඛ්‍යාව පිළිබඳව පැහැදිලි අදහසක් ප්‍රකාශ කර නැති බවයි.
පළමුවෙන් පවුල් 360 ක් අවතැන් වන බව පැවසූ නමුත් මේ වන විට එම සංඛ්‍යාව වෙනස් වී අවතැන් වන පිරිස 204 ක් බවට ප්‍රකාශ වන බවත් ඔහු පැවසීය. එසේ නමුත් ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ලිපියක පවුල් 2002ක් මින් බලපෑමට ලක් වන බව සඳහන් වන්නේ යැයි ද මේ වන තෙක් ඒ පිළිබදව කිසිදු දැනුම් දීමක් ගොවීන් වෙත කර නැතැයි ද ඔහු කීවේය. මෙම ව්‍යාපෘතිය නිසා දිස්ත්‍රික්ක දෙකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හතරක ගම්මාන 22ක, වැව් 22 ක ගොඩ මඩ ඉඩම් අක්කර 7000ක් පමණ විනාශ වන බවත් අක්කර 6568 ක භූමි ප්‍රදේශයක් විනාශ වන බවත් සඳහන් වන බව ඔහු සඳහන් කළේය.
පහළ මල්වතුඔය ජලාශය ඉදිකිරීමට පෙර අවතැන් ජනතාවට සාධාරණ වන්දි මුදලක් හා පදිංචියට සුදුසු ප්‍රදේශයක ඉදිකළ නිවසක් ලබාදෙන බවටත් එම පවුල් සදහා යල, මහ වගා කළ හැකි කුඹුරු ඉඩම් ලබා දෙන බවටත් පසුගිය රජය පොරොන්දු වූ නමුත් දෙවන වතාවට එම ව්‍යාපෘතිය ආරම්භ කිරිමේදී කිසිදු සොයා බැලීමක් නොකළ බව හෙතෙම පැවසීය.
රස්මික වැව ආර්.සිරිපාල මහතා
“2015 දී අපි මෙම ව්‍යාපෘතිය පිලිබදව දැනුවත් වූණා, ඒ සදහා තන්තිරිමලේ රජමහා විහාරයේ ස්වාමින් වහන්සේගේ මුලිකත්වයෙන් සෑම ගමකම අවතැන් වන්නන්ගේ සමිති ආරම්භ කළා. එහිදී මඩින් අක්කරයක් හා ගොඩ ඉඩම්වලින් අක්කර එක හමාරක් ලබා දෙන බව කිව්වා. නමුත් දැන් කියනවා අක්කර බාගයක් දෙන්නේ කියලා. නමුත් අපි ගොවියෝ අපි දන්නේ ගොවිතැන් කරන්න. අපිට ඔය කියන නගර සැලසුම්වලින් වැඩක් නැහැ. මේ ගම්වල 80% ක් ඉන්නේ ගොවියෝ. ඒ වගේම 50% කට වඩා ඉන්නේ කිරි ගොවියෝ. ඉතින් අපිට ඔය කියන ඉඩම් ප්‍රමාණය කොහොමවත් ප්‍රමාණවත් නැහැ. අපි මෙහෙට ආවේ 1982 -83 කාලයේ සාගිනි නිවීමේ ව්‍යාපාරය යටතේ ඉඩම් ලැබිලා. අපි හොදට ගොඩ මඩ වවනවා. අපේ ගමේ සමෘද්ධි පවුල් ඉන්නෙත් කිහිපයයි. අපි ඒක නිසා ආණ්ඩු අපිට කළ දේවල් වලට ණය නැහැ.”
අනුලාවතී මහත්මිය
“අපි වසර 30ක් පැවති යුද්ධය නිසා පීඩා වින්දා. නමුත් දැන් අපි හොඳට ගොවිතැන් කරගෙන ඉන්නවා. අපි දාඩිය මහන්සියෙන් ජීවත් වෙන මිනිස්සු. දැන් ඩෑම් එක හදන්න පටන් අරන් තියෙන්නේ අලි මාරු වන බිම් ප්‍රදේශයක. දැනටම ඔවුන්ගේ ගමන් මාර්ග වෙනස් වෙලා නිසා අලි ගම් වැදිලා. සඳමල් එලිය ගමේ ගෙවල් කිහිපයක් අලි කඩා දලා. දැන් මහ දවල්ටත් අලි පාරේ. මෙහෙම ගියොත් වන සත්තු ගම් වදිනවා. ඒක සිදුවෙන්නෙත් මේ ව්‍යාපෘතිය නිසා නම් අපිත් මෙහි අවතැන් වන ජනතාවක් වෙනවා. අපිට වන සත්තු එක්ක ඔට්ටු වෙවී ගොවිතැන් කරන්නවත් ජීවත් වෙන්නවත් බැහැ. කොහොම වුණත් අපි කියන්නේ මේ ප්‍රදේශයේ පවුල් 12500 ක් විතර මේ ව්‍යාපෘතිය හේතුවෙන් විපතට පත් වෙයි කියලා.”
මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිත සුමිත් මහතා
“මෙම ව්‍යාපෘතිය තුළ විශාල අක්‍රමිකතා ප්‍රමාණයක් සිදුවනවා. ජනතාවට සහන සලසන ක්‍රමවේදයක් පිළිබඳව තවමත් පැහැදිලි අදහසක් නෑ. ප්‍රදේශයේ ජනතාව නැවත ඉඩම් ලබා දීම පිළිබදව විකල්ප ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සදහාත් කිසිදු සැලකිල්ලක් නෑ. 2015 සිට ප්‍රදේශවාසීන් මේ ව්‍යාපෘතිය නැවත්වීමට උත්සහයන් බොහෝමයක් ගෙන තිබුණා. මේ වනවිට මේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇති නිසාත් උමා ඔය, යාන් ඔය ව්‍යාපෘති නිසා අවතැන් වූ ජනතාවට තවමත් නිසි ලෙස වන්දි හෝ ඉඩම් ලැබී නැති නිසාත් ඔවුන් ඒ සදහා ඔවුන්ගේ අරගලය ගෙන යනවා.
එමෙන්ම ව්‍යාපෘති ආරම්භක යෝජනාවේදී කියා සිටියේ අවතැන් ජනතාවට එහි රැකියා අවස්ථා සදහා ප්‍රමුඛතාවයක් ලබා දෙනවා කියලයි. නමුත් මේ වෙද්දි ඒ සඳහා ඉතා අධික මුදලක් ගෙවමින් අම්පාර ප්‍රදේශයේ පුද්ගලයන් මෙහි කම්කරුවන් ලෙස බඳවා ගෙන තියෙනවා. එමෙන්ම මෙහි පස අදින ටිපර් පවා අම්පාර ආදම්බවා නම් කොන්ත්‍රාත්කරුවකුගෙන් ලබාගෙන තියෙනවා. මෙවැනි අක්‍රමිකතා සිදුකරම්න් ව්‍යාපෘතියේ ප්‍රතිපාදන මංකොල්ල කනවා.”