Breaking News

ත්‍රස්තවාදී ලේබලය, වීරත්වය සහ ජනතා අරගලයේ ඉදිරි ගමන…

Samson Gnanasiri

ජනතාව තම බලය තුළින් පාලකයින් බියගැන්වූ ජූලි 09 පසුකර මේ වනවිට මාස 4කි. ජන බලය ඉදිරියේ බියට පත් ජනාධිපති නන්දසේන ගෝඨාභය පලාගිය පසු කුමන්ත්‍රණකාරීව රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයා ලෙස තේරී පත්විය. එතෙක් මෙතෙක් ඔහුගේ පාලනය තුළ සිදුවූ සියල්ල ජනතාවගේ ප්‍රශ්ණ උග්‍රකරමින් , මර්දනය කැඳවමින් ඉදිරියට ඇදෙන්නට විය. පාර්ලිමේන්තුව නම්වූ ගුබ්බෑයම තුළ ජනතා බලයට බියෙන් පලාගිය රනිල් සමග කලක් විරසකව සිටි කශේරුවක් නැති පොහොට්ටුවේ හොර නඩය ඔහුගේ වාරුවෙන් එකට එකතුවී නැවත කලඑලි බසින ලදී . එසේ කරලියට පැමිණි මේ හොරු රැල කිසිදු සදාචාරයකින් තොරව අරගලය සහ අරගල කරුවන් පිළිබඳව අභූත චෝදනා නගමින් , නීතිය අවනීතිය කරමින් යකානටන ආකාරය අපි ඉතා පිලිකුලෙන් යුතුව බලාසිටියෙමු.

නීතිය ඉදිරියේදී මිනිස් ජීවිත 12 ක් බිලිගත් වසන්ත කෙනෙක් නීතිපතිගේ අනුමැතිය මත නිදොස් කොට නිදහස් කළබවට ලැබුණු ආරංචිය තුළින් වසන්ත කරන්නාගොඩ යන නාමය ඉතිහාසයට එක්වූයේ කළු පැල්ලමක් අපේ නීතිපොතේ තවරමිනි.
එසේම ජනතාවගේ ප්‍රශ්ණ වෙනුවෙන් අරගල කළ තවත් වසන්ත කෙනෙකු නීතිය ඉදිරියට ගෙනැවිත් අැත .ඒ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේය. මේ අනුව වසන්ත මුදලිගේ යන නාමය ඉතිහාසයේ රක්තවර්ණව විරුවෙකු ලෙස ලියැවී හමාරය . ඔහුට දසවද දෙමින් , ත්‍රස්තවාදී පනත යටතේ නීතිය උන්ගේ අරමුණු අනුව සකසා ක්‍රියාත්මක කරන අාකාරය අපිදැක්කෙමු. උන්ගේ සෑම උත්සාහයක්ම යෙදවූයේ හිරකූඩුව තුළ පරාජිත මිනිසෙකු නිර්මාණය කිරීමටය.නමුත් ඒ සියළු දඬුවම් පරාජය කරමින් මතුවූයේ ශක්තිමත් අරගල කරුවෙකි. ඔහු සමග අත්අඩංගුවට ගත් හෂාන් සහ සිරිධම්ම හිමියන් මේවනවිට නිදහස ලබා ඇත . හෂාන් නිදහස ලැබුවේ දින 50 කට පසුවය. ඉන් අනතුරුව සිරිධම්ම හිමියන් නිදහස ලැබීය. ඔවුන්ද කිසි ලෙසකින් හෝ හතුරන් ඉදිරියේ පරාජය පිළිගත්තේ නැත .

ත්‍රස්තවාදී පනත යටතේ අත්අඩංගුවට ගත් සියළු දෙනාට නිදහස හිමිවන තුරු අරගලය ඉදිරියට ගෙනයන බව මෙම අරගල කරුවන් සඵත කරති.
පාර්ලිමේන්තු ගුබ්බෑයම තුළ සුදු ඇඳුම් ඇඳගත් හොරුන්ට ජනතාව වෙනුවෙන් අරගල කල අරගල කරුවන් පෙනෙනුයේ ත්‍රස්තවාදීන් ලෙසය. මේ ගැන අධිකරණය වෙත රැගෙන එමින් සිටියදී වසන්ත මුදලිගේ කළ ප්‍රකාශය යහපත් සමාජයක් වෙනුවෙන් සටන් වදින සියළු අරගලකරුවන්ට ඉමහත් ශක්තියක් වනු ඇත .

” රටේ මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ කතාකරන එකට කියන්නෙ ත්‍රස්තවාදය කියල නම් අපි ලෑස්තියි තව අවුරුදු ගානක් හිරේ ඉන්න . හැබැයි තක්කඩි ආණ්ඩු ඉස්සරහ අපි දණ ගහන්නෙ නෑ.”

leave a reply