Breaking News

රඹුක්කන විරෝධතාවය විසුරුවන්න අවම බලය පාවිච්චි කරා – පොලීසිය සුපුරුදු බොරු වමාරයි

රඹුක්කන නගරයේ අද පැය 15කට අධික කාලයක් පැවති විරෝධතාවය විසුරුවාහැරීමට පොලිසිය විසින් සිදුකළ ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් සුපුරුදු පරිදි පොලීසිය බොරු ගොතමින් සිටියි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව පවසන්නේ ත්‍රීරෝද රථයකට ගිනි තබා ඉන්ධන බවුසරයකට ගිනි තැබීමට උත්සහ කළ පිරිස විසුරුවා හැරීමට මෙලෙස වෙඩි තැබීමට පොලීසිය කටයුතු කළ බවයි. වෙඩි තැබීමට පෙර කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකළ පසු විරෝධතාකරුවන් පොලීසියට ගල්මුල් ප්‍රහාරයක් එල්ලකළ බව නිහාල් තල්දූව පවසා තිබේ. එසේම පොලිස්පතිවරයාද පවසා ඇත්තේ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට අවම බලය පාවිච්චි කළ බවයි.

එහෙත් විවිධ පාර්ශව විසින් ලබාගෙන තිබෙන වීඩියෝ පට හරහා පෙනී යන්නේ මෙම ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නැති බවයි. එසේම එවැනි එක් වීඩියෝවක දැක්වෙන පරිදි මිනිසුන් කෑගසමින් පවසන්නේ පොලීසිය විසින් ත්‍රීරෝද රථයට වෙඩි තබනු තමන් දුටු බවයි. එසේම තවත් වීඩියෝ පටවල දැක්වෙන්නේ පොලීසිය විරෝධතාකරුවන් පසුපස හඹා යමින් වෙඩි තැබීම සිදුකරන බවයි. එසේම පොලිස් නිලධාරීන් විසින් නිරායුධ පුද්ගලයන්ට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටද සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතියි.

පොලීසිය එල්ල කළ වෙඩි තැබීම්වලින් තුවාල ලැබු පුද්ගලයෙකු මිය ගොස් තුවාල ලැබු තවත් සාමාන්‍ය මිනිසුන් 11 දෙනෙකු හා පොලීසියේ 10 දෙනෙකු කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් අධ්‍යක්ෂවරිය සදහන් කරයි.

ලංකාවේ පොලීසිය තමන්ට පැවරී ඇති බලතල අනිසි ලෙස යොදාගනිමින් ජනතාව මර්දනය කිරීම දිගින් දිගටම දක්නට ලැබෙන තත්ත්වයකි. පසුගිය කාලයේ පොලිස් අත්අඩංගුවේදී සිදුවූ ඝාතන විශාල ප්‍රමාණයක්ද වාර්තා විය. එම සිදුවීම් සම්බන්ධයෙන් කිසිම විටක සාධාරණ පරීක්ෂණයක් පවත්වා එයට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට දඬුවම් ලබාදීමක් සිදු නොවුණි. ඒ සියල්ලට පාලකයන්ගේ ආශීර්වාදය නොවඩුව ලැබුණි.

ජනතාව පාලකයන්ට එරෙහිව වීථි බැස ඇති මේ මොහොතේ පොලීසියේ මෙම අනීතික හැසිරීම සම්බන්ධයෙන්ද සිය විරෝධය දක්වීමෙන් නොනැවතී මෙම අපරාධවලට වගකිව යුත්තන්ට දඬුවම් ලබාදීමට ද මැදිහත්විය යුතුය.

leave a reply