Breaking News

රැවටිලිකාර සිංහයා

පාලකයන් විසින් දිගින් දිගටම පලදායක නොවන වැය කිරීම් මගින් රටේ ආර්ථිකය දැවැන්ත ණය බරක් පටවා තිබෙන පසුබිමක තවදුරටත් එවැනිම ක්‍රියාමාර්ග සිදුවෙමින් තිබේ.

මේ වනවිට පළාත් සභා මැතිවරණ හා පළාත්පාලන මැතිවරණ ඉලක්ක කරමින් ප්‍රාදේශීය මංමාවත්වලට කාපට් නැවත එලීමට සහ ආණ්ඩුවේ වෘපෘති පිම්බීමේ ප්‍රචාරක කටයුතු සඳහා මන්ත්‍රිවරුන්ට වැය කිරීමට ලබාදී ඇති මිලියන 15ට අමතරව විවිධ ව්‍යාපෘති හරහා රාජපක්ෂ පාලනය විසින් ගනිමින් තිබෙන්නේ මුහුණ දෙමින් සිටින අර්බුදයෙන් මිදීමේ ප්‍රවේශයක් නොවේ.

මෙම සේයාරුවෙන් දැක්වෙන්නේ ඒ බව හොඳින්ම කියැවෙන නිදසුනකි. කූරගල ඓතිහාසික නටබුන් අතරට කිසිදු ප්‍රයෝජනයක් නොමැති ආකාරයේ සිංහ රුවක් සිමෙන්ති හා ගඩොලින් ඉදිකරනු මේ දිනවල දක්නට ලැබේ. ලොව විශාලතම සිංහ රුව ඉදි කිරීම මගින් සමාජයක් ලෙස මුහුණ දෙමින් සිටින අර්බුදයට කිසිදු ප්‍රයෝජනයක් නොමැති නමුත් රාජපක්ෂ බල දේශපාලනය වෙනුවෙන් ජාතිකවාදී හා ජාතිවාදී ප්‍රචාරයන්ට මෙවැනි සංකේත අවශ්‍ය වන බව පෙනේ.

මහජන මුදලින් වියදම් කරමින් මව්පිය ස්මාරක, භාවිතයට නොගන්නා ක්‍රීඩාංගන හා සම්මන්ත්‍රණ ශාලා පමණක් නොව, අධිවේගි මාර්ග, මත්තල ගුවන්තොටුපළ මෙන්ම හම්බන්තොට වරාය ඉදිකිරීමෙන් ආර්ථිකයට ලැබුණු සැබෑ දායකත්වය නැවත විගනනය කළ යුතුව ඇත. ජනතාවගේ මුදල් මෙන්ම විදේශ ණය වැය කරමින් පලදායකත්වයෙන් හීන අධිවේගි මාර්ග ව්‍යාපෘති වෙනුවෙන් අදත් මහජන මුදල් යට කරමින් තිබේ.

මහජන අරමුදල් වැය කිරීමේ ප්‍රමුඛතා තීරණය කිරීමේදී පාලකයන් තම බල දේශපාලන ප්‍රමුඛතා වෙනුවෙන් අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති නිසාම ජනතාවගේ අරමුණු හා සමාජ අරමුණු ප්‍රමුඛතා ලෙස ගැනෙන පාලනයක් අවශ්‍ය වී ඇත. ජනතාව නියෝජනය කරන දේශපාලන බලයක් හරහා මිස එවැනි තීරණ ගැනෙන අවස්ථාවක් නිර්මාණය කරගත නොහැකි වනු ඇත.

උපුටා ගැනීමකි – www.lankaviews.com

leave a reply