Breaking News

එන්නත්කරණ ක්‍රියාවලිය පමා වීමේ ගැටලුවත් ජනතාව පිට පටවයි

රට තුළ නැවත කොවිඩ් ආසාදිතයන් වැඩිවීමත් සමඟ ප්‍රමාණවත් පරිදි එන්නත් නොමැතිවීම සහ ක්‍රමවත් එන්නත්කරණ ක්‍රියාවලියක් නොමැතිවීමේ ප්‍රශ්නය ජනතාව පිට පැටවීමේ ප්‍රකාශ ජනාධිපතිවරයා ඇමතිවරු සහ හමුදපතිවරයා විසින් සිදුකරන ආකාරයට දක්නටලැබේ.

මෙහිදී ඔවුන් පවසමින් සිටින්නේ කොවිඩ් හේතුවෙන් මිය ගිය බහුතරය මිය ගියේ එන්නත් ලබා නොගත් නිසා බවයි. නිසියාකාර කොවිඩ් මර්දන ක්‍රියාවලියක් රට තුළ නොමැතිවීමේ ගැටලුව හේතුවෙන් නැවත නැවත කොවිඩ් පැතිරීම සීඝ්‍ර වන සෑම අවස්ථාවකදීම ආණ්ඩුව මතුරනු ලැබුවේ මෙම මන්තරයයි. එනම් ජනතාවගේ නොසැළකිලිමත් භාවය නිසා කොවිඩ් පැතිරෙන බවයි.

එහිදී ඊයේ (30) පැවති කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදී එන්නත ගෙන්වා දීමේ වගකීම රජය ඉටුකර ඇති බවත් රෝගය පැතිර යාම වළකින ආකාරයෙන් ක්‍රියා කිරීමත්, එන්නත කඩිනමින් ලබාගැනීමත් ජනතාව සතු යුතුකමක් බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.

එන්නත් බෙදාහැර තිබුණ ද මෙතෙක් එන්නත ලබාගෙන නොමැති අය පිළිබඳව විමර්ශනය කිරීමත්, ඔවුන් එන්නත ලබාගැනීමට පෙළඹවීමේ අවශ්‍යතාවත් ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබ ඇතැයි පැවසේ.

දිවයිනේ සියලු ප්‍රදේශ අළලා, එන්නත නොගත් පිරිස පිළිබඳ සංගණනයක් සිදුකරන ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

කොවිඩ් ආසාදිත සහ මියගිය පිරිස් පිළිබඳ කළ අධ්‍යයනයන්ට අනුව ඉන් 95%කට ආසන්න ප්‍රතිශතයක් එන්නත් ලබා නොගත් අය බව අනාවරණය වී තිබීම නිසා මෙම පියවර අනුගමනය කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඉදිරියේ දී රජයේ ආයතන සහ පොදු ස්ථාන වෙත පැමිණෙන ජනතාව එන්නත ලබාගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්යය කිරීම පිළිබඳව සොයා බැලීම කෙරෙහි ද කොවිඩ් කමිටුවේ අවධානය යොමුවී ඇති බව පැවසේ.

මෙවැනිම ආකාරයේ ප්‍රකාශ ජනාධිපතිවරයාට අමතරව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි සහ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සහ හමුදාපතිවරයා ද පවසා තිබුණේ ජනතාව ඉක්මනින් එන්නත් ලබාගත යුතු බවත් කොවිඩ් නිසා මියගිය පිරිසේ බහුතරය මියගොස් තිබුණේ එන්නත ලබා නොගත් නිසා බවයි.

දැන් නොකියා කියමින් සිටින්නේ කොවිඩ් එන්නත ලබාගන්නට උනන්දුවක් නොදැක්වූ නිසා කොවිඩ් ආසාදනයෙන් ජනතාව මිය යන බවයි.

මේ ආකාරයට ජනතාව පිට වරද පටවන්නේ නියමිත මොහොතේ එන්නත් ක්‍රියාවලිය ආරම්භ නොකර මුට්ටි ගඟට දමමින්, පැණි ‘ ප්‍රමෝට්’ කරමින් සිටි ආණ්ඩුවයි. එසේම එන්නත්කරණ ක්‍රියාවලියේ තිබූ ‘හොඳකම’ නිසාම පළමුවෙන් මෙරටට ගෙන්වූ ඇස්ට්‍රාසේනිකා එන්නත වැඩි පිරිසකට එන්නත් ලබාදෙන බව පෙන්වීමට පළමු වෙනි මාත්‍රාව වැඩි පිරිසකට ලබාදී එම පිරිසට දෙවැනි මාත්‍රාව ලබාදීමට අවශ්‍ය එන්නත් ඉතිරි නොවීය. අවසානයේ සිදුවූවේ එන්නත් ලබාගත් ජනතාවට පළමු එන්නත් පමණක් ලබාගෙන දෙවැනි මාත්‍රාව ලබාගැනීම සඳහා මාස ගණනක් බලා සිටීමටයි. එම ප්‍රමාණය ලක්ෂ 6ක් බව ආණ්ඩුවේම සංඛ්‍යා ලේඛණ පවසයි.මෙයින් බහුතරය වූවේ 60ට වැඩි පුද්ගලයන්ය. එම එන්නත් හිඟය ඇතිවීමත් සමඟ ඉතිරිව ඇති එන්නත් ලබාදුන්නේද ප්‍රමුඛතා අනුපිළිවෙල අනුව නොව පොහොසතුන්ට සහ බලය ඇති පුද්ගලයන්ටයි. එසේම නුවර ප්‍රදේශයේ ජනතාවට ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබාදෙන අවස්ථාවේ දෙවන මාත්‍රාව ලබා නොගැනීමට කැමැත්ත පළකරන බවට අත්සන් ලබා ගැනීමට කටයුතු කර තිබුණි. එම උත්සාහය වැළකුණේ එයට එල්ලවූ විරෝධය හමුවේයි.

ඊට අමතරව දැනටත් එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇත්තේ සුළු ප්‍රමාණයකට පමණි. එයින් බහුතරය කොළඹ සහ ගම්පහ ප්‍රදේශයේ ජනතාවයි. වසංගත රෝග විද්‍යා අංශය පවසන පරිදි කුමන හෝ එන්නතක මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් සිටින්නේ දහඅට ලක්ෂ අසූ දෙදාස් හයසිය අනූ තුනකි.

එසේම වෙනත් දිස්ත්‍රික්කවල තවමත් එන්නත් ලබාදෙමින් සිටින්නේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට පමණි.

leave a reply