හතර වන ඊළාම් යුද්ධය සම්බන්ධයෙන් මහාවංශයේ රචනා වී ඇති කරුණු සාවද්‍ය බව පවසමින් ඊට අදාළ වැරදි 77ක් හැන්සාඩ් ගත කිරීමට හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා කටයුතු කළ ආකාරය පසුගිය කාලයේ දක්නට ලැබුණි.
මහාවංශය රචනා කළ මහාචාර්‍යවරුන් තිස් අවුරුදු යුද්ධයේ අවසන් සටන අල්ලන සෙල්ලමක් බවට පත් කර ඇති බව ඔහුගේ අදහස විය.ශවේන්ද්‍ර සිල්වා,කමල් ගුණරත්න වැනි යුද නිලධාරීන්ගේ නම් සටහන් වී ඇති වාර ගණන ප්‍රමාණවත් නො වන බවට කන් කෙඳිරියක් ද ඒ සමඟ ම ඔහුගෙන් නිකුත් විය.
මෙය අපට නම් පෙනෙන්නේ අතිඋත්ප්‍රාසනීය සිදුවීමක් ලෙස ය.මහාවංශය බඳු ප්‍රබන්ධයකින් යථාර්ථය බලාපොරොත්තු වීම ඊට හේතුව යි.එහි මුල සිට ම දක්නට ලැබෙන මහා ප්‍රබන්ධ කිසිදු විචාරයකින් තොරව වැළඳ ගන්නා සිංහල බෞද්ධ මනස අද දවසේ ඉතිහාසය වාර්තා වන විට හේතුඵල සම්බන්ධතා ගැන සැලකිලිමත් වීම හාස්‍යජනක ය.
බුදුන්ගේ ලංකාගනය,මහින්දාගමනය හා විජයගේ පැමිණීම බඳු මහා ප්‍රබන්ධ පසෙක තබා එළාර – දුටු ගැමුණු යුද්ධය මහාවංශයේ නිරූපණය කර ඇති ආකාරය දෙස මෙහි දී අපගේ අවධානය යොමු කිරීම වැදගත් ය.
103. සැතපී සිටිමින්, මහා ශ්‍රී සම්පත්තියෙන් වාසය කරද්දී පවා ‘මේ යුද්ධයක් නිසා ඇත්, අස්, රිය, පාබල යන මෙයින් යුක්ත අතිවිශාල යුද සේනාවක් මරණයට පත්වුනා නොවැ’ කියලා මතක් වෙන්ට පටන් ගත්තා. මේ නිසා සිතට කිසි සතුටක් ලැබුනේ නෑ.
- පුවඟු දිවයිනේ වැඩ වසන රහතන් වහන්සේලා අපගේ දුටුගැමුණු රජ්ජුරුවන්ගේ මේ ශෝකාකූල අදහස් දැනගත්තා. රජ්ජුරුවන්ව අස්වසාලන්ට රහතන් වහන්සේලා අට නමක් ලංකාවට එව්වා.
- උන්වහන්සේලා මධ්‍යම රාත්‍රියෙහි රාජප්‍රාසාදයේ දොරටුව ළඟට අහසින් ගොඩ බැස්සා. තමන් අහසින් වැඩිය බව රජ්ජුරුවන්ට දන්වලා ප්‍රාසාදයට නැග වදාළා.
-
දුටුගැමුණු රජ්ජුරුවෝ උන්වහන්සේලාට වන්දනා කරලා ආසනවල වඩා හිඳෙව්වා. නොයෙක් අයුරින් සත්කාර දක්වලා උන්වහන්සේලා මේ වැනි වෙලාවක වැඩම කිරීමේ කාරණාව ඇහැව්වා.
-
‘රජ්ජුරුවෙනි, අපව එව්වේ පුවඟුදීපවාසී සංඝයා වහන්සේ යි. අපි ආවේ ඔබතුමාව සංසිඳුවන්ට යි’ එතකොට රජ්ජුරුවෝ උන්වහන්සේලාට නැවත මෙහෙම කිව්වා.
-
‘ස්වාමීනී, මට සන්සිඳීමක් ඇති වෙන්නේ කොහොමද? මේ යුද්ධෙ නිසා සිව්රඟ සේනාවේ අක්ෂෝහිනී ගණනින් කියා කිය යුතු අතිවිශාල සේනාවකගේ ජීවිත හානි වුනා නොවැ.’
-
‘මහරජ්ජුරුවෙනි, යුද්ධයේ දී සිදු වුන දෙයින් තොපට සුගතියෙහි උපදින්ට හෝ නිවන් අවබෝධයට හෝ අන්තරායක් වෙලා නෑ. මහරජ්ජුරුවෙනි, මෙහි දී ඔබ වගකිව යුතු වන්නේ මිනිසුන් එකහමාරකට යි.
- එක්කෙනෙක් තිසරණයෙහි පිහිටා සිටියා. අනිත් එක්කෙනා තිසරණ සහිත පන්සිල් සමාදන්ව සිටියා. අනිත් හැමෝ ම මිථ්‍යා දෘෂ්ටියෙන් යුක්තයි. දුස්සීලයි. ඔවුන් සතුන් වගේ නොවැ.
මහාවංශයට අනුව මේ යුද්ධයෙන් මිය ගොස් ඇත්තේ මිනිසුන් එකහමාරකි.අවම වශයෙන් පාණාතිපාතයට අදාළ බෞද්ධ ඉගැන්වීම් පවා නො තකන මේ මහාවංශ ඉදිරිපත් කිරීම ප්‍රශ්න නො කරන සරත් ෆොන්සේකාට වර්තමාන යුද්ධයේ සැබෑව නිරූපණය නො වීම සම්බන්ධයෙන් ඇති වන කණස්සල්ල විකාරසහගත ය.
සැබැවින් ම සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය මත පදනම්ව ගොඩනැඟෙන මහාවංශය බඳු ග්‍රන්ථයකින් යුද්ධයේ සැබෑව නිරූපණය කළ නො හැකි බව අප පෙන්වා දිය යුතුය.ඒ සරත් ෆොන්සේකා වැන්නවුන් බලාපොරොත්තු වන සැබෑව නොව ඔව්න් ද සඟවන යුද්ධයේ ම්ලේච්ඡත්වයට අදාළ සැබෑව යි.දුටුගැමුණු වගකිව යුතු මිනිසුන් ගණන සම්බන්ධයෙන් මහාවංශකරුවා ගොඩනඟන ප්‍රවාදයෙන් ම වැටහෙන පරිදි යුද්ධය සාධාරණීකරණය කිරීම හා උත්කර්ෂයට නැඟීම මිස ඉන් යථාර්ථය බලාපොරොත්තු විය නො හැකිය.
කෙසේ නමුදු බුදුන්ගේ චරිතය පවා යුදකාමියෙකු ලෙස නිරූපණය කළ මහාවංශයේ ගෑවී ඇති ලේ ප්‍රමාණය ගැන නො තකා යුද්ධය පරමත්වයට නංවන ෆොන්සේකාගේ උක්ත ප්‍රකාශයෙන් සිදු වූ වැදගත් සේවයක් ද,පවතින බව අවසාන වශයෙන් පැවසිය යුතුය.ඒ, මහාවංශය එකල ද ලියන්නට ඇත්තේ මේ පරිද්දෙන් ම වන බව සිතා ගැනීමට ඉඩකඩක් ඔහුගේ ප්‍රකාශයෙන් හිමි වීම ය.එය දැන් හැන්සාඩ් ගතව තිබීම ඊටත් වඩා උත්ප්‍රාසජනක ය.