ඇමතිවරු 04ක් ඔලිම්පික් බලන්න ගියේ රජයේ මුදල්වලින්ද?

ඔලිම්පික් ක්‍රීඩා උළෙල නැරඹීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙක් ජපානය බලා පිටත්ව ගොස් තිබීම ගැන තමන්ට ලැබී ඇති තොරතුරු අනුව පැවසිය හැකි වන්නේ එම ඇමතිවරුන් අනුග්‍රාහකයන්ගෙන් ලබාගත් මුදල්වලින් මිස රජයේ මුදල්වලින් නොවන බව යැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.

පසුගියදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේ මාධ්‍යවේදින් නැගී ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා සඳහන් කළේ අමාත්‍යවරුන්ගේ මෙම සංචාරය නිසා රජයට හෝ භාණ්ඩාගාරයට බලපෑමක් සිදුව නැති බවට තමන්ට ලැබී ඇති ආරංචි අනුව හැඟී යන බවයි.

ජපානයේ මේ දිනවල පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල නැරඹීම සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ සමඟ ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක, ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ අමාත්‍යවරුන් එරටට ගොස් තිබේ.

මේ අතර ඔලිම්පික් තරඟ නැරඹීම සඳහා තමන් ජපානයේ ටෝකියෝ නුවර බලා ගියේ කිසිදු අනුග්‍රාහකයෙකුගේ මුදලින් නොව තම පෞද්ගලික මුදලින් බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ සඳහන් කරන්නේ පසුගියදා කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල තමන් ඇතුළු පිරිස ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගීවීම සම්බන්ධයෙන් සිදුකල ප්‍රකාශය නිවැරදි නොවන බවයි.

මේ අතර ක්‍රීඩා අමාත්‍යංශයද නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ ඔලිම්පික් සඳහා සහභාගී වීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයෙන් මුදල් වෙන් නොකළ බවයි.

මේ අතර ජපානයේ ටෝකියෝ නගරයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙල සඳහා ක්‍රීඩකයන් 9ක් පමණක් සහභාගී වෙමින් සිටියදී ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් 60ක් සහභාගී වී ඇති බවට සමාජ මාධ්‍ය හරහා සංවාදයක් මතුව තිබේ.

එසේම ඔලිම්පික් සඳහා සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරඟ ඉසව් සඳහා සම්බන්ධ වීමේදී ඒ සඳහා රටේ අනන්‍යතාවය නියෝජනය වන ආකාරයේ නිල ඇඳුමක් ලබාදී නොතිබීම ගැනද සංවාදයක් මතුව තිබේ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එවැනි නිල ඇඳුමක් නැතත් නාමල් රාජපක්ෂ ඇමතිවරයා නම් එවැනි නිල ඇඳුමකින් සැරසී සිටින ආකාරය දැක්වෙන ඡායාරූප දක්නට ලැබේ.

 

 

 

Share post:

Popular

More like this
Related

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...