යාපනය, මිරුසුවිල් ප්‍රදේශයේදී 2000 වසරේ දෙසැම්බර් 20 වැනිදා ඝාතනය ලක්වු දරුවන් තිදෙනෙකු ඇතුලු සිවිල් වැසියන් අට දෙනෙකුගේ 22 වැනි ගුණ සැමරුම දෙසැම්බර් 20 අඟහරුවාදා යාපනය,මිරුසුවිල් දේවස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණ.
2000 වසරේ යාපනය,මිරුසුවිල් ප්‍රදේශයේ සිය මුල්ගම් බිම් අතහැර ගොස් සිටි පිරිසක් මිරුසුවිල් පිහිටි සිය නිවාස සෝදිසි කර බැලීමට සහ දර එකතු කිරීම පිණිස පැමිණ සිටියදී ශ්‍රී ලංකා යුධ හමුදා සාමාජිකයින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඝාතනය කොට තිබිණ.
අත්අඩංගුවේ සිටියදී දරුණු තුවාල ලබා, හමුදා භාරයෙන් පලා ආ යැයි කියන අයෙකු සිද්ධිය සම්බන්ධයෙන් සැළකිරීමෙන් අනතුරුව ඝාතන සිද්ධිය වෙත විශාල අවධානයක් යොමු විය.
අදාළ සිද්ධිය සැළවීමෙන් අනතුරුව නීතිවිරෝධි අත්අඩංගුවට ගැනීම, ඝාතනය කිරීම සහ ඔවුන්ගේ මෘත දේහ සමූහ මිනීවලක භූමදානය කිරීම යන චෝදනා යටතේ ශ්‍රී ලංකා යුධ හමුදා සෙබළු 14 දෙනෙකු මුල් අවස්ථාවේදී අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් පිරිස යාපනය, චාවකච්චේරි මහේස්ත්‍රාත් ඉදිරියට පමුණුවීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත් කළේය.
අත්අඩංගුවට ගත් 14 දෙනාගෙන් 9 දෙනෙකු සියලු චෝදනා වලින් නිදහස් කළද, ඔවුන්ගෙන් පස්දෙනෙකුට එරෙහිව සිදුවීමට සම්බන්ධ චෝදනා ගොනුකරන ලදී.
යුද්ධය හේතුවෙන් අදාළ නඩු විභාගය චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණයේ සිට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට මාරු කෙරිණ.
අනතුරුව පැවති ආරක්ෂක තත්වය මුල් කර ගනිමින් 2002 වසරේදී නඩු විභාගය කොළඹ මහාධිකරණයට යොමු කළ අතර, එහිදි වසර 13ක් මුළුල්ලේ නඩුව විභාගයට ගැණින.
වසර 13ක් තිස්සේ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් 2015 ජූනි 25 වන දිනදී හමුදා සැරයන් සුනිල් රත්නායක වෙත යාපනය මිරුසුවිල්හී සිදුකළ සිවිල් වැසියන් අටදෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව චෝදනා 15කට වරදකරු කරමින් මරණ දණ්ඩනය නියම කරන ලදී.
ඝාතනය වෙනුවෙන් අත්අඩංගුවට ගත් අනෙක් සෙබලුන් හතර දෙනා වෙත එල්ල වූ චෝදනාවල සාක්ෂි ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඔවුන් සිවුදෙනාට නිදහස හිමි විණ.
සුනිල් රත්නායක නිදහස් වීම
ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මරණ දණ්ඩනය හිමි වී සිටි සුනිල් රත්නායක 2020 මාර්තු මස 26 වන දින ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලදී.
අදාළ නිදහස් කිරීමට එරෙහිව දෙමළ ඩයස්‌පෝරාවේ හා එක්සත් ජාතීන්ගේ විවේචනාත්මක මතවාද ගෝඨාභය රාජපක්ෂ වෙත එල්ල විය.
සුනිල් රත්නායක නිදහස් කිරීම සම්බන්ධයෙන් එවක නිවේදනයක් නිකුත් කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සඳහන් කරනු ලැබුවේ ‘යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ අනෙකුත් බරපතල මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් අර්ථවත් වගවීමක් ඇති කිරීම සඳහා වන අන්තර්ජාතික මානව හිමිකම් බැඳියාවන්ට අනුගත වීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බවට’ මෙය තවත් එක් උදාහරණයක් බවයි.
උපුටා ගැනීම – BBC