රෝහණ පොතුලියද්ද කවියාගේ ‘අහස හැඩි වී ඇත’ කෘතිය පළ වූයේ 2009 සැප්තැම්බරයේදීය. ඒ වනාහී උතුරේ දෙමළ සන්නද්ධ අරගලය මර්දනය කිරීමත් ඒහිදී ඇති වූ බිහිසුණු යුද්ධය අවසන් කිරීමෙන් පසුව දක්නට ලැබුණු සමාජ යථාර්ථයේ ප‍්‍රකාශනයකි. පරාජිතයා වුවද මිනිසකු ලෙස සැලකීමේ ඉතිහාසයක් මකා දමා වියරු ම්ලේච්ඡු ජයග‍්‍රාහී ඝෝෂාවක් සමාජය තුළ දක්නට ලැබුණි. මිනිසකු මිය යාමෙන් මරණය නිසා ශෝකය පළකරන කම්පාවන මනුෂ්‍යත්වය සහිතව ගම්වල පැවති සංස්කෘතිය යුද සමයෙන් පසුව අතුරුදන්වී තිබුණි.
යුද සමයේ මනුෂ්‍යත්වය මුහුණ දුන් ඛේදවාචකය කොතරම්ද කිවහොත් පීඩිත ජනයාගේ විමුක්තිය වෙනුවෙන් පෙනී සිටීම වෙනුවට සොල්දාදුවන්ට මානෙල් පැලඳවීමෙන් හා බර අවි ප‍්‍රහාර ඉල්ලා සිටින තත්වයක් වාම දේශපාලනය තුළ දක්නට ලැබිණි. මේ මහා ඛේදවාචී ප‍්‍රවාහය තුළ පවා එයට එරෙහි, ඒ පරිහානිය විනිවිද දකින, දේශපාලන මතවාද, මනුෂ්‍ය
හැ`ගීම් දැල්වෙමින් තිබිණි. නිර්මාණකරුවෝ අතළොස්සක් වුවද ඒ මහා විනාශය හමුවේ කම්පනය ප‍්‍රකාශයට පත්කරමින් සිටියහ. වසර 30ක් ඇදී ගිය යුද්ධයෙන් පසුව, මනුෂ්‍යත්වය මුහුණ දුන් ඛේදවාචකය විසින් බිහි කළ මනුෂ්‍යත්වය සම්බන්ධ පරිහානිය, දේශපාලන ශුන්‍යත්වය සහ හෘදසාක්ෂියේ ගැටලූව නිර්මාණකරුවකු ලෙස පොතුලියද්දගේ කවිය තුළ නිරූපණය විය. එම අත්දැකීම් ප‍්‍රතිනිර්මාණය කිරීමේදී අවට සමාජයේ සිදුවීම් ලෙස මිනිසුන් දස දහස් ගණනක් යුද්ධයෙන් මියගොස් තවත් දහස් ගණනක් තුවාල ලැබ තිබියදීම ජයග‍්‍රාහී ලෙස කිරිබත්කෑමේ අත්දැකීම විසින් සසල කළ නිර්මාණකරුවකු හමුවේ.
එසේවුවද රෝහණ පොතුලියද්ද කවියාගේ දෙවැනි කාව්‍ය සංග‍්‍රහය ‘ඒක ඓන්ද්රජාලික ඉසව්වක්’ සම්බන්ධව කියවා ගැනීමකදී වෙනස් මානයක්, වෙනස් සමාජ ආර්ථික පරිසරයක අනුබලය හඳුනාගත යුතුව ඇත. කෘතිය තුළ ඇති නිර්මාණවලින් පෙනී යන්නේ වත්මන් සමාජ පරිසරය හා මුසුවන අපේ ජීවිත තවදුරටත් අවුරුදු 10කට එපිට පැවති ආකාරයෙන් කියවනවාට වඩා කවියා විසින් නව තත්වයන් දෙස විමර්ශනාත්මකව බලා ඇති බවයි.
සමාජමය අත්දැකීම් සම්භාරයක් පාදක කරගත් පළමු කවි පොතට වඩා මේ නව කාව්‍ය එකතුව සහෘද සංවාදයට ලක්ව ඇත්තේ් කුටුම්භය ආශ‍්‍රිත තේමාවන් මත සීමාවී පවතින්නක් ලෙසය. විශේෂයෙන්ම මේ කවිපොතේ නිර්මාණ දෙස බැලීමට පෙරාතුව ‘ඒක ඓන්ද්රජාලික ඉසව්වක්’කෘතියේ කවියා විසින් ලියන පෙරවදනම මේ කවි පොතේ අඩංගු නිර්මාණ විමසීමේදී ප‍්‍රවේශයක් සපයයි.
ඔහු පවසන කාරණා කෙටියෙන් කිවහොත් මෙවැනිය. තරුණ අවධියේ වඩා යහපත් සමාජයක් වෙනුවෙන් ප‍්‍රාර්ථනා දරා සිටි බව සහ ඒ වෙනුවෙන් කටයුතු කළ සමාජ ව්‍යාපාර පැවති බව ඔහු පවසයි. දැන් එවැනි සමාජ ව්‍යාපාරවල අඩුවක් ඇති බව ඔහුගේ අදහසයි. රාජ්‍ය සම්පූර්ණයෙන් ප‍්‍රතිගාමිත්වය කරා යමින් න්‍යෂ්ටික පවුල වඩ වඩාත් මර්දනකාරී ආයතනයක් බවට පත්ව ඇති බවයි. රාජ්‍ය දෘෂ්ටිවාදය දරා සිටින පවුල තවදුරටත් එයින් ඔබ්බට ගොස් පුද්ගලයන් මර්දනය කරන, පහර දී බිම දමන ආයතන බවට එසැවී ඇති බව කවියා පවසයි. ඔහු ඒ අතරම ඔහු සටහන් කරන්නේ තවම මියගොස් නැති ඒ අතීත ප‍්‍රාර්ථනාවන් කොර ඇන ඇන ගමන් කරන බවත් හෘද සාක්ෂිය ප‍්‍රශ්න කිරීමේ ක‍්‍රියාවලිය කටුවක් සේ ඇෙඟ් ඇනෙන බවත්ය.
ඔහු පවසන්නේ කවියකු ලෙස තමන් වෙත පැවති සමාජ වගකීම අත්හැර කුටුම්භගත ජීවිතයේ කොටුවීමක් සම්බන්ධ පාපොච්චාරණයකි. ඔහු තුළ ඒ ගැන කම්පනයක් ඇති බව මෙහි ප‍්‍රකාශ වන නමුත් කවියකු සමාජය වෙත බාහිරට නැඹුරුවීම වගේම කුටුම්භයට මනුෂ්‍ය සබඳතාවලට සමීප අත්දැකීම් නිර්මාණකරණයට පාදක කරගැනීම නිරර්ථක දෙයක් වන්නේ නැත. ‘ඒක ඓන්ද්රජාලික ඉසව්වක්’ තුළ තමන් ඇතුළට නැඹුරුවීම හරහා අපට දක්නට ලැබෙන්නේ කවියා කුටුම්භගත ජීවිතය ඇසුරින් නිර්මාණානුභූතීන් උකහා ගැනීම මිස කවිය කුටුම්භගතවීමක් නොවේ.
නිදසුනක් ලෙස මේ ‘පුංචි පුතා මගේ ඉස්කෝලේ යන මුල්ම දවස අද’ කවිය කියවමු.
මේ කවිය කියවනකොට, ධර්මසිරි ගමගේ ලියූ පදරචනාවකින් ක්ලැරන්ස් විජේවර්ධනගේ සංගීත නිර්මාණයට ඇන්ජලින් ගුණතිලක ගැයූ ගීතයක් සිහිපත් වීම වැළැක්විය නොහැකියි. පාසලට දරුවා ගෙන යන මුල්ම දවසේ මවකගේ ප‍්‍රාර්ථනා මේ ගීතයෙහි නිරූපිතය. නමුත් පොතුලියද්ද කවියා මේ කවියෙන් ප‍්‍රකාශ කරන අදහස වෙනස්.
”පුත උස තාප්පෙන් එපිට දළඹු ෆැක්ටරිය
අතාරින්න මා සුළැඟිල්ල
යළි කිසිදා නොඑල්ලෙන්න
දෙන්න මට ඔය සමනල මෙලෙක
මතක සුවඳක් සේ
දැන් ඉතින් යන්න
ආපිට නොබලන්න
එයයි නීතිය
සීනුවෙන් සීනුවට සුවහසක් වර්ණ සූරන්න
වාරයෙන් වාරයට තටුවෙන් තටුව ගලවාවි
වාර්තාවෙන් වාර්තාවට විෂ බූව මතුවේවි
උගතමනා දළඹුවා අහස් තළ වොරැඳේ
ගුණ නැණ බෙලෙන් යුතු එක පුන් ස`ද
ටීචර් දුන්න නෙක තරු අතර තරුවක්ය ගන අඳුර”
සාමාන්‍යයෙන් අප දන්නේ දළඹුවන් සමනලයන් බවට රූපාන්තරණයවන ක‍්‍රියාදාමයයි. නමුත් මේ පාසලේදී සිදුවන්නට නියමිත එහි අනෙක් පැත්ත බව කවියා පවසයි. ලස්සන සමනල් පැටියකු විෂ බූව සහිත කැත දළඹුවකු බවට පත්කරන තැනක් ලෙස කවියා දකී. පරිභෝජන උන්මාදය සහිත එකා එකා පරදවන, අනෙකාගේ කකුලෙන් ඇද බිම දමන, බෙලි කපන චරිතයක් පාසල තුළින් බිහිවන බව මේ කවිය ප‍්‍රකාශ කරයි.
කුටුම්භ පරිසරයේ සිට කවියා අරගන්නෙ සමාජ අර්බුදය කියවාගත හැකි අනුභූතියකි. ඔහු පවුල තුළ දකින්නෙ අප ජීවත්වන සමාජ අර්බුදයෙන් වෙනස් කිසිවක් නොවේ. අධ්‍යාපනය යනු රාජ්‍ය දෘෂ්ටිවාදය තහවුරු කරන දෘෂ්ටිවාදී උපකරණයක් ලෙස ලූවී අල්තුෂර් ප‍්‍රකාශ කළ අදහස කාව්‍යාත්මකව ඉදිරිපත් කරන්නට ඔහු සමත් වේ.
නමුත් ඒ අතරම කවි පොතට ලියූ පෙරවදනෙන් පොතුලියද්ද කියන්නෙ පවුලේ වගකීම් අතර ඔහු සිරගතව සිටින බවයි. කිසියම් ආදායමක් සරිකරගෙන පවුලේ සාමාජිකයන් පෝෂණය කරන සැමියාගේ භූමිකාව, පණ එපා කියමින් දරුවන් ටියුෂන් පන්තියට ගෙන යන පියාගේ භූමිකාව, පන්සලේ වැඩවලදි හොඳම පුරවැසියාගේ භූමිකාව යන මේවා ඉටුකළ නොහැකි බව පොතුලියද්ද කවියා ප‍්‍රකාශ කරයි. ඒ නිසා මේ කවි තුළ සාංදෘෂ්ටික දැක්මක් අන්තර්ගතව ඇත. ඔහු තමන් තුළ සිටි සමාජයීය මිනිසා එතැනින් දුරස්ථව පවුලේ ජීවිතය තුළ සිරගත වුණාද කියන ගැටලූවට මුහුණ දෙන ගමන් ඒ අත්දැකීම් ඇසුරින් කලාත්මක කාව්‍ය ප‍්‍රකාශන සටහන් කරයි. කවියා සාංදෘෂ්ටික දැක්මක් තුළ සිටීමෙන් රසිකයා සාංදෘෂ්ටික මානයක සිරගත වේ යැයි සිතිය නොහැකිය.
නිදසුනක් ලෙස ‘පිටස්තරයා‘ කෘතිය තුළ ඇල්බෙයා කැමු සටහන් කරන්නෙ සියදිවි නසාගැනීමේ ආශයක් ඇතිවූ පුද්ගලයකුගේ ආත්ම ප‍්‍රකාශනයකි. එහෙත් එය කියැවූ පමණින් පාඨකයන් ලෙස අප සියදිවි නසා ගැනීමේ ආවේගයකට පත්වන්නේ නැත. පොතුලියද්දගේම ‘අපට කොහෙ හරි වරදුණා බං’ කියන කවියත් ‘දහම්සොඬ වූ සුරාසොඬ මිතුරාට’ යන කවිවල එක් පසකින් කුටුම්භයට සිරගතව මැදපාන්තික ජීවිතයේ අතෘප්තිය ප‍්‍රකාශ කරන්න සමත් වෙනවා. ඒ කවිවල කියැවෙන ‘වැරදීම’ හෝ ‘පීඩාව’ රෝහණ පොතුලියද්දගේම වැරදීමක්, පීඩාවක් කියනවාට වඩා සමස්ත මැදපාන්තික ජීවිත අත්දැකීමක් ලෙස ග‍්‍රහණය කරගන්න පුළුවන්.
”රස්සාව කෙරුවා ඕටීත් කෙරුවා තව බ්‍රෝකර් වැඩත්ගෙ
යක් හැදුවා තාප්පෙ බැන්දා ගත්ත කිරි කිරි මරුතියක්පො
ඞ්ඩො ඉස්කෝලෙ දැම්මා පංති ඇරියා ශිෂ්‍යත්තෙනං සමත්
පස්ස හැරිලා බලනකොට කෙස්ස සුදුයි අඩමානෙන් ඇහැත්”
මැදපන්තික ජීවිත ගෙවන හැමදෙනාගෙම කතාව මෙය බව පැහැදිලිය. දරුවන් හොඳ මට්ටමේ පාසල්වලට යැවීම, විභාග සමත් කරවීම ආදී එක් ඉලක්කයක සිට තවත් ඉලක්කයකට හඹා යන ජීවිතය, සාතිශය බහුතරයකගේ සාමාන්‍ය ජීවිත අත්දැකීම වේ. විනෝදවන්නට, සිනමා ශාලාවකට හෝ මුහුදු වෙරළකට හෝ උද්‍යානයකට පවා යන්නට වෙලාවක්, අවස්ථාවක් එවැනි පවුල්වල නැත. පොතක් පතක් කියවන්නට හෝ අවම වශයෙන් පවුලේ අය අතර සුහද කතාබහක් සිදුකරන්න එකතුවන අවස්ථා නැති තරම්ය. පවුලේ සහෝදර සහෝදරියන් විවාහ වී පිටස්තර නිවෙස්වලට පදිංචියට ගියද නැවත එකතුවන අවස්ථා විරලය. ඇතැම්විට ඔවුන් එකතු වන්නේම විවාහ උත්සවයක් හෝ අවම`ගුලක් වැනි අවස්ථාවලදී පමණකි. එවැනි අවස්ථාවල පවා කාර්යාලවල වැඩ කරන දිවා රෑ වැඩමුරවල යෙදී සිටින අයට ඇත්තේ අවම අවස්ථාවකි. මේ සමාජ අත්දැකීම් අතර නිල බල සංස්ථාපිත ව්‍යුහයේ ඛේදවාචකය සම්බන්ධ මරණය අවස්ථාවේ සිදුකරන සමාලෝචනයක් පොතුලියද්ද කවියා ඉදිරිපත් කරයි. කවිපොතේ අවසන් කවිය, ‘ලෙඞ්ඩු බලන්න වෙලාව ඉවරයි’ යන මාතෘකාවෙන් එන කවිය මෙසේය.
”මමත් මිනිහෙක් සිරසට හිටිය
සුදු ඇඳගත් තිරසට වැද හොත්
සේසත් සේ මා වටා සිරසට නැගි නැගී නොරිදන්න
ඇපල් මිදි මල් කලඹ සමඟ
විහිළු කතා සුභ ප‍්‍රාර්ථනා තබා
කඩපළට වැඩ බිමට අවන්හලට දිවයන
තිරස් මිනිසකුටත් ගමනක් තිබේ
නිස්කාංසුවේ යා යුතු
ජය ටැඹ සොයා ගලා ආ මග
තුවාල කළ ඉවුරු දෑල දෙස
වරක් අප හැරී බැලිය යුතුය
තුංග ගිරි හිස මුදුනට
පියාඹන අතරතුර
ගව්වෙන් ගව්ව අත් හළ
මුනිවර මිනිස් පිරිවර
පැදකුණු කළ යුතුය
අනවරත තෘෂ්ණාබර ගමනේදී
ළය මස සූරා කෑ පොළව මත
හළා හළ විෂ ධූම මුදා හළ
අකම්පිත නිල් අහස යට
දණ ගසා හැඬිය යුතුය
ඔබ ගිහින් සුදු ඇඳුම මැද ගන්න
තිරස් මිනිසකුටත් ගමනක් තිබේ
නිස්කාංසුවේ යා යුතු”
මේ තනි මිනිසකුගේ ගැටලූවකට වඩා මැදපන්තික ජීවිතයේ අභ්‍යන්තර ඛේදවාචකය නිරූපණයවන ප‍්‍රකාශනයකි. සමස්ත සමාජයේ අර්බුදය මැද පංතික ජීවිත අත්දැකීම් ආශ‍්‍රයෙන් ‘අපට කොහ හරි වැරදුණා බං’ කවියෙන් ප‍්‍රකාශ වේ. පොදුවේ මෙම ‘ඒක ඓන්ද්රජාලික ඉසව්වක්’ කවි පොතේ ප‍්‍රකාශවන්නේ සමාජයට පරිසරයට මනුෂ්‍ය සංස්කෘතියට ඇතිකරන බිහිසුණු බලපෑම සහ ඇතිකර තිබෙන විනාශය ය.
සමාජ අර්බුදය මැද දිවි ගෙවන කවියා තමා හා සමානව ජීවිත අර්බුදයට මුහුණ දෙමින් සිටින මිලියන ගණනක් ජනයාගේ ජීවිත සම්බන්ධව සමාජීය මිනිසෙකු ලෙස තමාට ඇති වගකීම හමුවේ සංකාවක් ඇතිවීම වටහා ගත හැකි තත්වයකි. එහෙත් ඔහුගේ කවි පොත විසින් නියෝජනය කරන්නේ සමාජ අර්බුදය පුද්ගල ජීවිත තුළ ප‍්‍රකාශවීමෙන් ඇතිවන කම්පනය පමණක් නොවේ. මානුෂිකත්වය සඳහා වන අපේක්ෂා දැල්වීම හා දී ඇති තත්වය සම්බන්ධ විරෝධයකුත් මේ කාව්‍යමය ප‍්‍රකාශන විසින් නියෝජනය කරයි. මේ කාව්‍ය නිර්මාණ රසිකයා තුළ කම්පනයක් ඇතිකරමින් කුටුම්භ තුළ සිරගතවීමෙන් මිදීම පිණිස ආවේගයක්, ධෛර්යයක් සම්පාදනය කරන බව අවධාරණය කළ යුතුව ඇත. මැදපාන්තික ජීවිත උගුලේ සිරගතවීමෙන් මිදීමට ආවේගයක් කාව්‍ය නිර්මාණ තුළ හඳුනාගත හැකිය.
ජීවිතයෙන් හෝ නිර්මාණ ඇසුරෙන් මේ මධ්‍යම පාන්තික සමාජ අර්බුදය හඳුනාගන්නා ප‍්‍රඥාව සතුකරගන්නා සහෘදයන්ට එකී අර්බුදයට හසු නොවන එසේත් නැතිනම් අර්බුදය විසඳාගැනීමේ ක‍්‍රියාකාරිත්වයකට පෙලඹවීම කවියේ ශක්‍යතාවක් නිසා විය හැකි වුවද එසේ නොවන්නේ නම් ඒයද කවියාගේ දෝෂයක් නොවේ.
විශේෂයෙන් ඔහු සිය පළමු කාව්‍ය සංග‍්‍රහයේ එකතුකරන කවි තුළ ප‍්‍රකාශමානවන අතීතයක සමාජ ව්‍යාපාර විසින් දරා සිටි විපර්යාසකාරක ජවය, විප්ලවකාරී හරය අප තුළ ඇතිකළ තත්වය වෙනස් වී තිබෙනවා විය හැකිය. සමාජ වෙනසක් වෙනුවෙන් ක‍්‍රියාකාරී වූ සමාජ ව්‍යාපාර මනුෂ්‍යත්වයේ මූලික හරයන් අත්හැර දමා ඇති සමයක පොතුලියද්ද සිය පළමු කාව්‍ය සංග‍්‍රහය රසික සමාජයට පිරිනැමුවේ ඒ සමාජ අගතිය, වරදකාරිත්වය පිළිබද පුපුරු ගහනා කවි සමඟිනි.
එහෙත් එදා ඔහු අගති සහගත ප‍්‍රවාහය මැදට පැන නිර්මාණාත්මක ආලෝකයක් එල්ල කළ සමයටත් වඩා, සමාජය හා සමාජ ව්‍යාපාර තුළ ප‍්‍රගතිගාමී හරයක් වර්ධනය වී ඇති සමයක පැමිණෙන ඔහුගේ නිර්මාණාවලිය තුළ පැන නගින ප‍්‍රතිවිරෝධය අපව සසල කරවයි. එහිදී අපගේ ප‍්‍රතිචාරය වන්නේ පුද්ගල වරදකාරිත්වයක්, පුද්ගල වේදනාවක් විසින් ජනිත කරවන කිසිවක් එකී සමාජ අර්බුදය විසඳාලීමේ මගක් නොපෙන්වන බවය. එහෙත් ඒ වරදකාරිත්වය විසින් පැන නගින නිර්මාණාත්මක දාර්ශනික ආවේගය, සමාජ අර්බුදය විසින් ඉල්ලා සිටින විමුක්තිකාමී දේශපාලනික ප‍්‍රවාහයක් බිහි කිරීමේ ශක්‍යතාවක් දරා සිටින බව නම් නිසැකය.
උපුටා ගැනීම රළ
Leave a Reply