Breaking News

ජපානය රොබෝ මීමැස්සෙක් හදලා , ඌ අපේ වත්තේ මල්වල පැණි බොන්ඩ එයිද  

පරාගන ක්‍රියාවලියේ ප්‍රමුඛ කාර්යභාරය ඉෂ්ට කරන්නේ මී මැස්සන් ඇතුළු කෘමි සතුන් ය . මිනිස් ක්‍රියාකාරකම්  වල බලපෑම මත සිදුවී ඇති පරිසර විපර්යාසයන් හේතුවෙන් ලෝක මී මැසි ජනගහනය සීග්‍රයෙන් පහත වැටෙමින් පවතිනවා . මේ හේතුවෙන් මිනිස් ජනගහනයේ සහ සත්ව ප්‍රජාවගේ ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීම ඉදිරි කාලයේදී විශාල අභියෝගයකට ලක් වීමට නියමිතයි . සොබාදහමේ සමතුලිතතාවය සහ උෂ්ණත්වය ඉහළ දැමීමට සාපුරා මැදිහත්වීම සිද්ධ කරනු ලැබුවේ මිනිසා විසින්ය . එනිසා අත්වන පල විපාකයන්ට මුහුණදීමට වර්තමාන මිනිසාට සිදුවී තිබේ .

පරාගෙන ක්‍රියාවලිය මිනිසාට  සිද්ධ කළ නොහැක්කකි . එනිසා අද පසෙකින් පරිසර විනාශය සිද්ධ කරන අතර අනිත් පසින් ආහාර අර්බුදයක් නිර්මාණය වීම වළක්වා ගැනීම සඳහා මීමැස්සන් වගා කිරීම ද සිදුකෙරේ . මේ ගැටළුවට විසඳුමක් ලෙස ජපානයෙන් නව අත්හදා බැලීමක් පිළිබඳව වාර්තා වෙනවා .  මී මැසි ජනගහනයේ ගෝලීය පහත වැටීමට ප්‍රතිචාර වශයෙන් බෝග පරාගනයට සහාය වීම සඳහා මේ  රොබෝ මී මැස්සන්  උදව් කරනු ඇති බව රොබෝ  මී මැස්සන් නිෂ්පාදනය කළ කණ්ඩායම විශ්වාස කරනවා . කැමරා, සංවේදක සහ ඇලෙන සුළු ජෙල් එකකින් ආවරණය කර ඇති මෘදු කෙඳි වලින් සමන්විත මෙම කුඩා පියාඹන රොබෝවරු සැබෑ මී මැස්සන්ගේ ස්වාභාවික පරාගණ ක්‍රියාවලිය අනුකරණය  කිරීමේ හැකියාව තියෙනවා.  කෘතිම බුද්ධියෙන් මොවුන්ට මඟ පෙන්වනු ලබන  අතර මල් හඳුනා ගැනීමට, පරාග එකතු කිරීමට සහ ශාක අතර කාර්යක්ෂමව මාරු කිරීමට හැකි  වෙනවා . රොබෝ මී මැස්සන් දැනට හරිතාගාර සහ විවෘත ක්ෂේත්‍රවල පරීක්ෂාවට ලක් කෙරෙන අතර, ස්වාභාවික පරාග වාහකයන් නොමැති විට පවා පලතුරු සහ එළවළු ප්‍රමාණවත් පරාගණය ලබා ගන්නා බව සහතික  කර තියෙනවා. ඔවුන්ගේ සැහැල්ලු සැලසුම ඔවුන්ට හානි නොකර වඩාත් සියුම් මල් අතර සැරිසැරීමට සහ චලනය වීමට ඉඩ සලස බවත් නවෝත්පාදනය ගෝලීය ආහාර නිෂ්පාදනය ආරක්ෂා කළ හැකි තත්ත්වයකට වර්ධනය කිරීමට පුළුවන් බවට විශ්වාසය පළ කර තිබේ. 

මීමැස්සන් ප්‍රමුඛව  පරාගන ක්‍රියාවලියේ යෙදෙන කෘමි සතුන් තම කාර්යභාරය ඉෂ්ට කරන්නේ සීමාවන් නොමැතිවයි . ඔවුන්ට තෝරාගත් සීමාවක් නැහැ . එම සතුන්ට සහජයෙන්ම ලැබෙන පියාසර කිරීමේ හැකියාව මත හමුවන සියලුම මල් මත සැරි සැරීම සිද්ධ කරනු ලබනවා .  එම ක්‍රියාවලිය මිල මුදල් මත තීරණය වන්නක් නොව කෘමි සතුන් ඔවුන්ගේ පැවැත්මත් ඒ හරහා සොබාදාමේ  පැවැත්මත් කිසිදු බලපෑමකට යටත් නොවී  අඛණ්ඩව සිදුකරගෙන යන්නකි .

මිනිසා විසින් වර්තමානයේ උද්ගත කොට ඇති මේ දැවැන්ත ගැටළුව විසඳා ගැනීම සඳහා රොබෝ මීමැස්සන්  නිර්මාණය කිරීම විසඳුමක් ලෙස දැකිය හැකි වුවත් එය අනිවාර්යයෙන්ම හැකියාව ධනය බලය මත රඳා පවතින්නකි . මේ රොබෝ මීමැස්සන්ව කිසියම් පුද්ගලයෙක් විසින් පාලනය කළ යුතු වන අතර එය සිදු කරනු ලබන්නේ එහි අයිතිකරුවා විසිනි.. වර්තමාන ධනවාදී ලෝකය තුළ සොබා දහම නිර්මාණය කළ මීමැස්සන් ඇතුළු කෘමිස්සතුන් වඳවි ගියහොත් රොබෝ මීමැස්සන් අයිති වනුයේ දැවැන්ත වැවිලි සමාගම්වලටය . අපේ වත්තේ කොපමණ මල් පිපුණත් ඔවුන් අපේ වත්තේ මල්වලට පියඹා එන්නේ නැහැ  එසේ නොවන්නේ ඔවුන්ව  පාලනය කරන ස්වාමියෙක් ඇති නිසාවෙන්ය .

පවතින ප්‍රශ්නයට සැබෑ විසඳුම වන්නේ  රොබෝ මී මැස්සන්  නිර්මාණය කිරීමෙන් ළඟා කරගත නොහැකියි . සැබෑ විසඳුම තියෙන්නේ සොබාදහම ආරක්ෂා කර ගැනීමට මිනිසාගේ මැදිහත්වීම    වර්ධනය කිරීම තුළය .

හිල්මි සුපුන් 

leave a reply