Breaking News

ඉතිහාසයේ සාක්ෂිකරුවෙකු ගේ නික්ම යාම …

අනුරාධපුර මධ්ය මහා විද්යාලයේ අධ්යාපනය ලබමින් සිටියදී හේරත් සහෝදරයා හට පාල සහෝදරයා හරහා නැවුම් විප්ලවීය ව්යාපාරයත් සමඟ දේශපාලන සබදතා ගොඩනැගුණි. උපාලි රත්නායක, මාරසිංහ වැනි අනුරාධපුර මධ්ය මහා විද්යාලයේ ශිෂ්යයින් අතර හේරත් ද සමකාලීන දේශපාලන ක්රියාධරයෙකු විය. රහසිගත දේශපාලන ක්රියාකාරීත්වයට එළඹීමත් සමඟ අනුරාධපුර නගරයට තම පාපැදියෙන් ගොස් එන අතරතුර පොලිස් අත්අඩංගුවට පත්වූ ඔහු එහිදී කතා කරන්නට බැරි අයෙකු ලෙස ගොළුවත රකී. එලෙස කරන හේරත් සහෝදරයා, පොලිසියට තොරතුරු හෙළිදරව් වීම වැළැක්වීමට කටයුතු කළේය.
පසුව මාස දෙකකට වැඩි කලක් බන්ධනාගාර ගතව සිට නිදහස ලැබූ ඔහු පක්ෂයේ සහෝදරවරු අතර “ගොළු හේරත්” යන නමින් ද ප්රචලිත විය. 71 අරගලයේ දී ගලෙන්බිඳුණුවැව පොලිසියට පහර දෙන කණ්ඩායමට එක්වන හේරත් සහෝදරයා ඇතුළු පිරිස පොලිසිය යටත් කරගැනීමෙන් පසු නගරයේ බලය අල්ලා ගෙන පවත්වාගෙන යාමට කටයුතු කළේය. අනතුරුව ඔවුන් රිටිගල මුල්කරගෙන මූල කඳවුරක් ගොඩනගනු ලැබීය. ඒකනායක, ගරුසිංහ, මාරසිංහ වැනි අය මෙහිදී නායකත්වය දෙනු ලැබීය. දිගින් දිගට එල්ලවන ප්රහාර හමුවේ විල්පත්තුවට පසු බැසීමට කණ්ඩායම තීරණය කළේය. රෝහිණී, ගීතා වැනි සහෝදරියන් ඇතුළු හතළිස් පස් දෙනෙකුගේ කණ්ඩායමක් විල්පත්තුවට පසුබැසීය. පසුව විල්පත්තුවෙන් විසිර ගොස් යළි ක්රියාකාරී වන පිරිස සමඟ හේරත් සහෝදරයාත් දේශපාලන කටයුතුවල නිරත විය.
1974 වසර අග භාගයේ දී යළි අත්අඩංගුවට පත්වන හේරත් සහෝදරයාට කොමිෂන් සභා තීරණයක් අනුව වසර 5ක සිරදඬුවමක් නියම විය. අනතුරුව මැගසින්, හැමන්හිල් වැනි බන්ධනාගාරවල සිරගත ජීවිතයක් ඔහුට නියම විය. එහෙත් හැත්තෑ හතේදි කොමිසම අහෝසි වීමත් සමඟ සෙසු සහෝදරවරුන්ද සමග ඔහුවද නිදහස් කෙරුණි.
1977න් පසු යළි ප්රසිද්ධ දේශපාලනයට එක්ව පක්ෂය සමග ඔහු යළි ක්රියාකාරී වේ. පසුව අසූ තුනේ තහනමින් අනතුරුවද රහසිගත දේශපාලනය තුළ ක්රියාකාරී වැඩ කොටසක් ඉටු කරනු ලැබීය. ඔහුගේ තෙවන ආගමනය සිදුවන්නේ 1994 දී යළි පක්ෂය ප්රසිද්ධ දේශපාලන කටයුතු ආරම්භ කිරීමත් සමඟය. පූර්ණකාලීන ක්රියාධරයෙකු ලෙස අනුරාධපුරයෙන් කොළඹට පැමිණෙන ඔහු පංචිකාවත්ත කාර්යාලය මුල්කරගෙන දේශපාලන කටයුතුවල නියැලෙනු ලැබීය. 1983දී සීල් තැබූ පංචිකාවත්ත කාර්යාලය යළි ආරම්භ කළ විට එහි ප්රධාන ක්රියාධරයා බවට පත් ප්රේමචන්ද්ර සහෝදරයා සීමිත බිම් කඩක, පංචිකාවත්ත වැනි කඨෝර බිමක පන්ති ව්යාපාරය වෙනුවෙන් සිය පූර්ණ ශ්රමය දශකයකටත් වැඩි කාලයක් එක් කළේය. එතැන් සිට රට පුරා විවිධ තැන්වල පක්ෂ ක්රියාදරයන් හිතවතුන් අතර “පංචිකාවත්තෙ අයියා” නමින් ඔහුව හඳුන්වන්නට පටන්ගත්තේය.
අනතුරුව ගෙවී ගිය විවිධ දේශපාලන හැලහැප්පීම් පරාජයන් ජයග්රහණයන් සමග තම නොනැසෙන විප්ලවීය හීනය සමඟ ජීවත් වූ ඔහු සමාජවාදය පිළිබඳ බලාපොරොත්තුව පෙරදැරිව ම 2011 දී පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගොඩනගන දේශපාලන ප්රවාහය සමඟ එක් විය. එතැන් පටන් කාර්යාලවලත් පසුකාලීනව කෑගල්ල දිස්ත්රික්කයේ විවිධ තැන්වලත් තම සමාජවාදී සමාජය පිළිබඳ හීනයම පුරමින් අවසන් මොහොත දක්වාම අයෝමය විප්ලවවාදී භාවිතාවක් ඔහු ගෙන ආයේය.
වසර පනහකටත් වඩා වැඩි පරම්පරා කිහිපයක දේශපාලන අත්දැකීම් පිරූ මේ මිනිසාගෙන් අපට ගත හැකි අත්දැකීම් අතිවිශාලය. තමන් විශ්වස කරන ලෝකය පිළිබඳ අධිෂ්ඨානය, සමාජවාදය පිළිබඳ විකල්ප දේශපාලනයක් වෙනුවෙන් පොරබදන සියලු විප්ලවවාදීන්ට අත්නොහැර වැළඳ ගත හැකි අත්වැලක් මේ අපූරු ප්රායෝගික විප්ලවවාදියා අප වෙත දායාද කොට ඇත .

leave a reply