Breaking News

අර්බුදයට ජනතාව බිලිදීම පමණක් උත්තරේ කරගත් ඇමතිවරු

රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් විෂය භාර ඇමතිවරු මේ දිනවල පවසමින් සිටින්නේ එක හා සමාන කතාවකි. මෙම ආයතන පාඩු ලබමින් තිබෙන බවත් එම ආයතන ලබාගත් ණය ගෙවීමට නම් ඒවා විකිණිය යුතු බවත්ය. නැතිනම් එම ආයතන ලබාදෙන සේවාවල මිල ගණන් වැඩිකළ යුතු බවයි. නමුත් මෙම ආයතන පාඩු ලැබීමට බලපා ඇති තීරණවලට අදාළ ඇත්ත හේතු ඇමතිවරු පවසන්නේ නැත.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා සහ පෞද්ගලික විදුලි බලාගාර ව්‍යාපෘති සඳහා විදුලිබල මණ්ඩලය විසින් ගෙවිය යුතු මුදල රුපියල් බිලියන 76 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, මීට අමතරව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත රුපියල් බිලියන 3.1 කට අධික මුදලක් ගෙවීමට තිබෙන බවත් විදුලි බිල ඉහළ නොදමා මෙම මුදල් පියවිය නොහැකි බවත් ඇමති කංචන විජේසේකර පවසයි.

විදුලිබල මණ්ඩලයේ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඇතැම් සේවකයන්ගේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් බරපතල ගැටලු පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. අදාල ආයතනවල සේවකයන්ට වාර්ෂිකව 25% ක වැටුප් වර්ධනයක් ලබා දෙන්නේ කිසිදු සේවා ඇගයීමක් හෝ සිදු නොකරන බවයි ඇමතිවරයා පවසා තිබේ.

විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් අද පැවැත්වෙන සභාව කල්තැබීමේ විවාදයට සහභාගිවෙමින් ඇමතිවරයා සඳහන් කළේ ජනතාව පීඩාවට පත්වන බව සත්‍යයක් වන නමුත් විදුලි බිල වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවාව හා එහි පාලිත සමාගම් කඩිනමින් ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන බව වරාය නාව්ක හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකන් කේටරින් සමාගමෙන් සහ ගුවන්තොටුපල මෙහෙයුම්වලින් සියයට 49ක කොටස් ආයෝජකයකු වෙත ප්‍රදානය කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සියයට පනස් එකක බහුතර කොටස් රජය සන්තකයේ තබා ගනිමින් සෙසු 49% එක කොටස් එලෙස ආයෝජකයකුට විකිණීමට තීරණය කළ බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

කැබිනට් මණ්ඩලය පත් කරනු ලබන කමිටුවක් හා තාක්ෂණික කමිටුවක් මගින් ඒ පිළිබඳ තීන්දු ගන්නා බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

leave a reply