ජනතාවගේ ප්‍රශ්න බලය ඩැහැ ගැනීමේ දේශපාලනයට යොදාගැනීම වෙනුවට විසඳුම් සොයන ජනතා බලයක් ගොඩ නඟමු! – දුමින්ද නාගමුව
එදිනෙදා ජීවිතයේදී ජනතාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය ඇතුළු විවිධ දුෂ්කරතා සටන් පාඨ ලෙස ගෙන මීළඟ මැතිවරණයකදී ආණ්ඩු බලය ඩැහැ ගැනීමට දේශපාලන බලවේග විසින් දරණ උත්සාහයන් වෙනුවට ජනතා ප්‍රශ්න විසඳන වැඩපිළිවෙළක් ජයග්‍රහණය කළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
කොළඹ සිට ගාල්ල දක්වා යන ‘ජනපෙළගැස්ම’ආරම්භ කරමින් මේ බව ප්‍රකාශ කළේ පෙ.ස.ප. ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව විසිනි. ඊයේ(25) මෙම ජනපෙළගැස්ම ආරම්භ කරණු ලැබුවේ කොළඹ හැව්ලොක් පෙදෙසේ සිටය. “ඇත්ත බලාපොරොත්තුවක් – මහජන ව්‍යාපාරයක් ” තේමා කරගත් මෙම “ජන පෙළගැස්ම”, පිළිබඳ මාධ්‍ය හමුවක් කැඳවමින් පෙ.ස.ප. ප්‍රකාශ කළේ විපක්ෂ දේශපාලනයේ ඡන්ද එකතු කිරීමේ ඉලක්ක වෙනුවට, ජනතාවගේ දේශපාලන බලය ජනතා අරමුණු ජයග්‍රහණය කිරීම සඳහා සංවිධානය කිරීමේ අරමුණින් පෙ.ස.ප. මෙම මහජන ව්‍යාපාරය කැඳවන බවයි.
විවිධ දේශපාලන පක්ෂ විසින් ජනතාව මුහුණ දෙමින් සිටින දහසක් ගැටලු පාවිච්චි කරමින් ඡන්ද ගොඩ වැඩි කරගැනීමේ මෙහෙයුමක යෙදී සිටින නමුත් අවශ්‍ය වන්නේ සමාජයක් ලෙස මුහුණ දෙමින් සිටින ගැටලු සඳහා ඇත්ත විසඳුම් සොයා යන ජනතාවගේ සංවිධානාත්මක බලයක් බව දුමින්ද නාගමුව එහිදී පෙන්වා දෙන ලදී. ඔහු පැවසුවේ මේ ජනතා ව්‍යාපාරය ගොඩනැඟීමේදී මූලික පදනම් 6ක් සළකා බැලිය යුතු බවයි.
දුමින්ද නාගමුව විසින් එහිදී අවධාරණය කළ කරුනු මෙසේය.
“පළමුවෙන්ම, අද වන විට ලෝකයේ දේශපාලනය, ආර්ථිකය හැසිරවෙන්නෙ අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයක් තුළ බව අවධානයට ගත යුතුව ඇත. විශේෂයෙන්ම ලංකාවේ ආර්ථිකය හා භු දේශපාලනය වෙත බලපෑම් සහගත ලෙස මැදිහත් වෙමාන් සිටින චීනය, එක්සත් ජනපදය හා අසල්වැසි ඉන්දියාව විසින් මෙරට ජනතාව මෙන්ම ශ්‍රමිකයන්, ස්වභාවික සම්පත් ආදිය කොල්ලකෑමේ සැලැසුම් ක්‍රියාවට නගා ඇත. ඉන්දිය සාගරයේ බලපොරය තුළ අධිරාජ්‍යවාදී ගැටුමකට පාලකයන් විසින් ලංකාවත් එහි ජනතාවත් ඇද දමා ඇත. එම අධිරාජ්‍යවාදී බලපෑම් පරාජය කිරීමට අධිරාජ්‍ය විරෝධි මහජන ව්‍යාපාරයක් ගොඩනැඟිය යුතුව තිබේ.
ඒ සමඟම අධිරාජ්‍යවාදයේ මුල්‍ය ප්රාග්ධනය මේ රටේ සමස්ත ආර්ථිකය, සමාජ දේහය හා මානව පැවැත්ම ගොදුර කර ගෙන ඇති නවලිබරල් ආර්ථික ක්‍රමයෙන් ගැලවීමක් නැතිව ජනතා ගැටලුවලට ඇත්ත විසඳුම් සෙවිය නොහැකිය.
තුන්වන කාරණයක් ලෙස මේ රටේ දේශපාලන නායකයන් විසින් ජනතාව ජාති ආගම් ආදි වශයෙන් බෙදා වෙන්කර එකිනෙකා ඇනකොටා ගන්නා තැනට කටයුතු කරමින් අන්තවාදයන් පෝෂනය කරමින් ඡන්ද ගොඩ ගසා ගැනීමෙන් දේශපාලන බලය පවත්වා ගෙන යයි. මෙම ජාතිවාදය, ආගමික හා වෙනත් අන්තවාදියන් පාවිච්චි කරන දේශපාලනයට විරුද්ධ ජතා බලයක් සංවිධානය කළ යුතුව ඇත.
එපමණක් නොව, මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් උදුරා ගනිමින් සිටින පාලකයන් විසින් ප්රජාතන්ත්රවාදය කප්පාදුකර ඇත. විරුද්ධ අදහස්, වෙනස් අදහස් දරන පුද්ගලයන් මර්දනයේ ඉලක්ක බවට පත්ව ඇත. අහිමි කළ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් දිනාගැනීම සඳහා මහජන බලයක් අවශ්‍ය වේ.
සිර ගෙවල් තුළ මිනිසුන් මරා දමනු ලබන, උද්ඝෝෂණවලට පහර දීම වැනි තත්වයන් මෙන්ම මිලිටරිකරණය හරහා මර්දනය ස්ථාපිත කරන පාලනය පරාජය කිරීමට මහජන ව්‍යාපාරයක් අවශ්‍යව තිබේ.
පස්වැනි කාරණයක් ලෙස පාලකයන් විසින් සිය ව්‍යාපාරික ගජමිතුරන් සමග ගෙන යන පාරිසරික සංහාරයට එරෙහි බලයක් අවශ්‍ය වී ඇත. පරිසර විනාශයට ඒරෙහිව කතා කරන රාජ්‍ය නිලධාරින් පවා මර්දනයට ලක් වේ. ඉඩම් කොල්ලය, ජල සම්පත්, වනජීවින්, සාගරය, කඳුකරය ආදි වශයෙන් සමස්ත පරිසරයේ අයිතිය ජනතාව සතුවන බැවින් පාලකයන් විසින් ඒවා සාහසික ලෙස විනාශ කිරීමේ තත්වය පරාජය කිරීම පරිසරය රැක ගැනීමට කැමති සියලු දෙනා ඒකරාශි කරන මහජන ව්‍යාපාරයක කාර්යය වේ.
සය වැනි කාරණය ලෙස, පාලකයන් මෙවැනි අගති සහගත, විනාශකාරී පාලනයක්, පවත්වාගෙන යන්නේ මිත්‍යාවන්, ගතානුගතික ව්‍යාජයන් ආරක්ෂා කරමින් හා නඩත්තු කරමින් බව පෙනේ. මේ සමාජ පසුගාමිත්වයට එරෙහිව ජනතාව නව දැනුමෙන් හා සමාජ ප්‍රගතිය කෙරෙහිවන අවබෝධයෙන් සමන්විත මහජන බලයක් බවට සංවිධානය කළ යුතු වේ.”
මෙවැනි මහජන ව්‍යාපාරයක් සංවිධානාත්මකව ගොඩනැගීමේ පෙරටුගාමී කාර්යභාරයක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඉටුකරන බව පවසන දුමින්ද නාගමුව, මහජනයාගේ විරෝධය ඡන්ද මල්ලකට ගොඩ ගහගන්න ඉඩ නොදී ඇත්ත විසඳුම් සොයා ක්‍රියාකාරිවන ජනතා බලයක් ගොඩනැගීමට සියලු දෙනා එක් විය යුතු බව අවධාරනය කළේය. මෙවැනි මහජන වයාපාරයක් වෙත විවිධ දේශපාලන බෙදුම් රේඛා අදාළ නොවනු ඇති බවත් වසර 74ක් රවටනු ලැබීමෙන් උගත් දේශපාලන පාඩම් තුළින් ජනතාව සංවිධානය කිරීම අවශ්‍ය බවත් ඔහු පැවසීය.
ජනතාව මුහුණ දෙමින් සිටින ගැටලුවල, දුෂ්කරතාවල පීඩාවන්, මේ වේදනාව මැතිවරණ දේශපාලනයට ලඝු කළ නොහැකි බව ඔහුගේ අදහස විය.
මේ දුෂ්කරතා තවදුරටත් ඉවසා සිටීමට හැකියාවක් නැති නිසා මැතිවරණ එනතුරු බලා නොඉඳ ඇත්ත විසඳුම් ගෙන එන්නට ජනතාවගේ බලයක් ගොඩනැඟීම පිණිස පෙතසතප ජනතාව වෙත කරන යෝජනාව ජනතාව වෙත ගෙන යාම පිණිස කොළඹ සිට ගාල්ල දක්වා ‘ජනපෙළගැස්ම’ සංවිධානය කළ බව ඔහු පැවසීය. ඊයේ කොළඹ සිට පානදුර දක්වා ගමන් ගත් මෙම ‘ජනපෙළගැස්ම’ අද බලපිටිය දක්වාත් හෙට දිනයේ ගාල්ල නගරය වෙතත් ගමන් කරනු ඇත. එම ගමනේදී නාගරික හා ග්‍රාමීය ජනයා වෙත මෙම අදහස ලබාදීම පිණිස අත්පත්‍රිකා, පුවත්පත් බෙදාහැරීමටත් ජනහමු ඇතුළු ප්රචාරක හා සංස්කෘතික අංගවලින් සමන්විත වැඩසටහනක් ක්‍රියාත්මක වන බව පෙ.ස.ප. පවසයි.