Breaking News

මැතිවරණ කල්දැමීම මගින් ‘ක්‍රමය’ වෙනස් කිරීමේ අවශ්‍යතාව නතරවන්නේ නැත

ජෙහාන් පෙරේරා

පළාත් පාලන මැතිවරණය කල්දමා ඇතැයි තමන්ට විශ්වාස කිරීමට ලැබීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ආධාරකරුවන් සෑහීමකට පත්වන බව පෙනෙන්නට තිබේ. එහෙත් මැතිවරණය කල්නොදැමිය යුතු බවද ඔවුහු ප්‍රකාශ කරති. මැතිවරණ කොමිසමේ සාමාජිකයන් පස්දෙනාම මාර්තු 09 වැනිදා මැතිවරණය පැවැත්වෙන දිනය ලෙස ප්‍රකාශ කරන ලිපියකට අත්සන් කළද, මැතිවරණය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව රැස්වූ දිනය සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවත්, එම රැස්වීම සඳහා කොමිසමේ සාමාජිකයන් පස්දෙනා අතර ගණපූරණයක් නොතිබුණු බවත් පවසමින් ඔවුහු මැතිවරණ කොමිසමේ වැරදි සොයමින් සිටිති. මැතිවරණවලට වෙන්කිරීම වෙනුවෙන් රටේ මුදල් නොමැති බවට දෙවැනි තර්කය ද තිබේ. රජයේ මුදල් ලබාදිය යුතු වෙනත් ක්ෂේත්‍ර අත්‍යවශ්‍ය සේවා ලෙස රජය විසින් නම් කර ඇති නමුත්, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ඉන් එකක් නොවේ. රට බංකොලොත් වී ඇති බැවින් මේ මොහොතේ මැතිවරණයක් වෙනුවෙන් වියදම් දැරිය නොහැකි බවට ආණ්ඩුව තර්ක කරමින් සිටී.

මෙම තර්ක දෙක විසින් මැතිවරණ කල් දැමිය යුතු බව බහුතර ජනතාවට ඒත්තු ගන්වනු ඇතැයි රජය බලාපොරොත්තු වන බව පෙනෙන්නට තිබේ. මාර්තු 09 වැනිදාට, නියමිත කාලයට පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ආණ්ඩු පක්ෂය අර්බුදයට ලක්වන බවට සැකයක් නැත. පසුගිය වසරේ රට මුහුණ දුන් ආර්ථික කඩාවැටීම සහ බහුතර ජනතාවට අහිතකර ලෙස බලපාන, රජයේ වියදම් අසමාන ලෙස වෙන්කිරීම වැනි හේතූන් මත ආණ්ඩුවේ ජනප්‍රියතාව අඛණ්ඩව පහත වැටී ඇත. මෑතකදී සිදුකර ඇති මහජන මත විමසුමකට අනුව එය සියයට 10 කට වඩා වැඩි නොවේ. තමන්ගේ ජනප්‍රියත්වය අඩු මට්ටමක පවතින බව ආණ්ඩුවේ නායකයන් නොදැන සිටින්නට හේතුවක් නැත. මහජන මත විමසුමේ ප්‍රතිඵලවලට අමතරව, ඔත්තු සේවාවලින්ද ඔවුන්ට දැනුවත් කිරීම් ලැබෙයි. ආණ්ඩුවේ ජනප්‍රියත්වය අඩු වන තරමට, වැඩි වැඩියෙන් ආරක්ෂක හමුදාවන් මත රඳා පැවතීමට ආණ්ඩුව කටයුතු කරනු ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස, මැතිවරණ කල් දැමීමෙන් ආණ්ඩුවට සැළකිවයුතු ජයග්‍රහණයක් ලැබෙන්නට පුළුවන. එසේම එය විශාල වියදමක් දැරීමට සිදුවන ජයග්‍රහණයක්ද විය හැකිය. එහෙත්, සමහර අවස්ථාවලදී, මෙවැනි ජයග්‍රහණ සඳහා දරනු ලබන දේශපාලනික පිරිවැය, එහි අවසන් ප්‍රතිඵලය තරම් වටින්නේ නැත. මැතිවරණ නොපැවැත්වීම සම්බන්ධයෙන් රජයට එරෙහිව විරුද්ධ පක්ෂවල දේශපාලන විරෝධතා වර්ධනය වීමට ඉඩ තිබේ. එවැනි විරෝධතාවලට පොලිසියෙන් ලැබෙන ප්‍රතිචාර දිනෙන් දින දරුණු වෙමින් පවතී. ආණ්ඩුවේ මර්දනය සහ මැතිවරණය පැවැත්වීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ අන්තර්ජාතික ජනමාධ්‍ය සිදුකරන ආවරණයන්ද හිතකර නොවේ. අන්තර්ජාතික ජනමාධ්‍ය වාර්තා බොහොමයක ශීර්ෂ පාඨය වී ඇත්තේ “ බංකොලොත් ශ්‍රී ලංකාව මැතිවරණ කල් දමයි”. යන්නය. දිගින් දිගටම ප්‍රමාදවන, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය මුදල ලැබෙන තුරු රට තවමත් බලා සිටී. මෙමගින් පොදුවේ අන්තර්ජාතික ප්‍රජාව තුළ හෝ විශේෂයෙන්ම අන්තර්ජාතික ආයෝජකයන් තුළ රටේ ස්ථාවරත්වය පිළිබඳ විශ්වාසය ජනිත නොවනු ඇත.

ජාතික ජන බලවේගයේ නැගීම

මර්ධනය උත්සන්න වීමත් සමඟ ජනතා සහාය ලබා ගැනීමට හැකියාව ඇත්තේ වඩාත් රැඩිකල් සහ ක්‍රියාකාරී පක්ෂවලට ය. දැන්, කල් දමා ඇති පළාත් පාලන මැතිවරණයේදී හොඳින් ක්‍රියාකිරීමට බොහෝදුරට ඉඩ ඇති පක්ෂය වන ජාතික ජන බලවේගය(NPP) පාරට බැස තිබේ. ඔවුන්ට එරෙහි පොලිස් ප්‍රහාර මගින්, ඔවුන්ගේ විරෝධතා අවහිර කරමින්, ඒවා ප්‍රචණ්ඩ ලෙස බිඳදමමින් තිබේ. එම දුක්ඛිත දර්ශන රූපවාහිනිය, අන්තර්ජාලය සහ විශාල පිරිසකගේ පෞද්ගලික ජංගම දුරකථන ඔස්සේ පැමිණේ. පළමුව, ඔවුන් ගමන් කිරීමට තෝරාගන්නා පොදු මාර්ගවල, ඔවුන්ගේ මාවත හරස් කරමින් සිටගෙන සිටින පොලිසිය, පසුව කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු ලබයි. අවසානයේ සිදුවන්නේ බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කර, පොලිසියෙන් අල්ලා වාහනවලට දමාගැනීමට තරම් අවාසනාවන්ත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමයි.

මහජන කැරැල්ලේ සහ ත්‍රස්තවාදයේ මිශ්‍රණයකින් රාජ්‍යයට දෙවරක් මුහුණ දුන් ජනතා විමුක්ති පෙරමුණේ සෙවනැල්ලක් වන ජාතික ජන බලවේගයට එරෙහිව සැලකිවයුතු ප්‍රතිරෝධයක් අඛණ්ඩව පවතී. එම කාලපරිච්ඡේද දෙක තුළ දස දහස් ගණනක් මිය ගියේය. රජයේ දේපළ ගිනිබත් කිරීම් ඇතුළු, රජය සහ කැරලිකාර දෙපාර්ශ්වයෙන්ම බිහි වූ භීෂණකාරී පාලනයක් ක්‍රියාත්මක විය. ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේද, ජාතික ජන බලවේගයට විරුද්ධ වන අය, එම අතීත මතකයන් යළි පණ ගැන්වීමට තම උපරිමය කරති. එහෙත් පසුගිය මාස කිහිපය තුළ, සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල වන ප්‍රහාර දැකගන්නට ලැබීම සෙසු ජනතාව තුළ කෝපයක් දනවන කාරණයක් වී ඇත. මහත්මා ගාන්ධි මෙහි සිටියේ නම් මුලින්ම අත්අඩංගුවට ගැනෙන පිරිස අතර ඔහුත් සිටිනු ඇතැයි පැවසිය හැකිය. ඔහු එසේ කරනු ඇත්තේ අවට සිටින ජනතාවගේ කෝපය ඇවිස්සීමටය. පීඩකයාගේ හෘදය සාක්ෂිය අවදි කිරීමටද ඔහු අපේක්ෂා කරනු ඇත. දැන් ජාතික ජන බලවේගය සිදුකරන කාර්යභාරය මෙයයි. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන අරගලයේදී අවිහිංසාවාදීව පැවතීම වැදගත් ය.

ජනතාව සහ අන්තර්ජාතික ප්‍රජාව තුළ රජය කෙරෙහි ඇති විශ්වාසය ඛාදනයවීම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට හෝ එහි ආර්ථිකයට යහපත් ලෙස බලපාන්නේ නැත. ත්‍රිරෝද රථ රියැදුරකු, තම කුඩා දරුවන් තිදෙනාටම මාරි බිස්කට් පැකැට්ටුවක් සහ කිරි පැකැට්ටුවක් බැගින් උදෑසන පාසලට යද්දී මිල දී ගත් බව මා හට පැවසූ අයුරු මට මතකයේ තිබේ. දැන් ඔහුගේ ආදායම නොවෙනස්ව තිබියදී මෙම භාණ්ඩවල මිල තුන් ගුණයකින් වැඩි වී ඇත. එමනිසා ඔහුට දැන් සිය දරුවන්ට එක පැකැට්ටුව බැගින් ලබාදීමට හැකියාවක් නැත. එම ගැටලුව වැඩිමහළු දරුවාට අවබෝධ කරගත හැකියැයි සිතීමට පුළුවන. එහෙත්, එය කුඩාවුන් දෙදෙනාට පැහැදිලි කරදීමට නොහැකිය. එමනිසා ආණ්ඩුවේ නායකයන්ට බැනඅඬගැසීම හැර වෙනත් විකල්පයක් ත්‍රිරෝද රථ රියැදුරා සතුව නැත. ඔහු මාහට මෙම කාරණය පිළිබඳව පවසන ලද්දේ මීට මාස 06කට පෙරය. දැන් මට ඔහුව මුණගැසුණහොත් , ඔහු ඔවුන්ට තව තවත් ශාප කරනු ඇත. මේ වන විට දුප්පත්ම ජනතාවගේ විදුලිය මිල තුන් ගුණයකින් වැඩි වී ඇති අතර, ධනවතුන්ගේ විදුලි පිරිවැය සියයට 50 කින් පමණක් ඉහළ ගොස් තිබේ.

කල්දැමීම සමාලෝචනය කළයුතුය

මේ ත්‍රිරෝද රථ රියදුරන් වැනි මිනිස්සුන්ට ඡන්දය ලබාදීමට අවස්ථාව ලැබුණහොත්, කවුරුන්ට ඡන්දය ලබානොදිය යුතුද යන්න පිළිබඳව ප්‍රශ්නයක් පැනනොනගිනු ඇත. පසුගිය සති අන්තයේ මම රැඳීසිටියේ රත්නපුර ප්‍රදේශයේය. මාහට හමුවූ ප්‍රජා නායකයන් කියා සිටියේ, දූෂිතයන් බව තමන් දන්නා ප්‍රාදේශීය දේශපාලනඥයන් යළි පත්නොකිරීම සඳහා ඡන්දය ලබාදීමට ජනතාව මැතිවරණය දෙස බලා සිටින බවයි. ප්‍රජා මට්ටමේ පර්යේෂණ සිදුකරන උතුරේ විද්‍යාඥයකුගෙන්ද මම එයම අසා ඇත්තෙමි. ජනතාව මැතිවරණය දෙස බලා සිටින්නේ පැරණි දේ ඉවත් කර අලුත් දේ ගෙන ඒමට බව ඔහු පැවසීය. මාර්තු 09 වැනිදාට නියමිත පළාත් පාලන මැතිවරණය කල්දැමීමෙන් කලකිරෙන උතුරේත් දකුණේත් ඡන්දදායකයන්ගේ අපේක්ෂාවන් එක්තැන් වීම මම එහිදී දුටුවෙමි. උතුරේ සහ දකුණේ මිනිසුන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේම මට්ටමින් ක්‍රමය වෙනස් කිරීම ආරම්භ කිරීමටය.

අතීතයේ ජනතා විමුක්ති පෙරමුණේ නැගිටීම් සහ වර්තමානයේ ජාතික ජන බලවේගයේ විරෝධතා අතරද වෙනසක් පවතී. ජාතික ජන බලවේගයේ විරෝධතා සඳහා පැමිණෙන බොහෝ තරුණ තරුණියන්ට අතීතය සමඟ සෘජු සම්බන්ධයක් නැත. ඔවුහු ක්‍රමය වෙනස් කිරීම සඳහා විරෝධතාවයේ යෙදී සිටිති. අත්‍යවශ්‍යයෙන්ම, පසුගිය දශක හතර පුරා පාලනයේ පැවැති ලක්ෂණයක් වූ, දූෂණය සහ වගකිවයුත්තන්ට දඬුවම් නොලැබීමේ ක්‍රමය වෙනසකට ලක්කිරීම ඔවුන්ට අවශ්‍යව ඇත. කල් දැමූ පළාත් පාලන මැතිවරණය ඔවුන් දකින්නේ එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ කොටසක් ලෙසයි. ක්‍රමය වෙනස් වීම විවිධ මට්ටම්වලින් සිදුවිය හැකි අතර, දේශපාලන පක්ෂද පවතින තත්වයට විරුද්ධව ඒකරාශී වෙමින් තිබේ. දේශපාලන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා කරමින්, පසුගියදා ජාතික ජන බලවේගයේ විරෝධතාවට එල්ල වූ පොලිස් ප්‍රහාරය හෙළා දකිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම තත්ත්වය තුළ, පළාත් පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් රජය ගත් තීරණය සමාලෝචනය කළ යුතුව තිබේ. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් රජය විසින් සොයාගන්නා බවට ජනතාවට සහතික වීම තුළින්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමාට ඇති හැකියාව පෙන්නුම් කළ යුතුව ඇත. ජනතාව සහ රජය අතර විශ්වාසය නැවත ඇති කරන නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට රජය මැතිවරණ කොමිසමට සක්‍රීයව සහාය ලබාදිය යුතුය. මැතිවරණ කොමිසම පවසා ඇත්තේ මාර්තු 03 වැනිදා මැතිවරණය වෙනුවෙන් නව දිනයක් ලබාදෙන බවයි. මෙම දිනය සැබවින්ම මැතිවරණය පැවැත්වෙන දිනයක් වීම ජාතික අවශ්‍යතාවක් වනු ඇත. නිදහස් හා සාධාරණ මැතිවරණයක් ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම තහවුරු කරමින්, රජයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වූ ශක්‍යතාව ශක්තිමත් කිරීම, ශ්‍රී ලංකාව තුළ සිය සහයෝගීතාව සහ මුදල් ආයෝජනය කිරීම සඳහා අන්තර්ජාතික ප්‍රජාවේ විශ්වාසය ඉහළ නැංවීමට ද ඉවහල් වනු ඇත.

leave a reply