Breaking News

කොවිඩ් මර්දන එන්නත් කිහිපයක්ම ලංකාවට

කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලැබුණු වහාම එම එන්නත් දිවයින පුරා බෙදාහැරීමට අවශ්‍ය යාන්ත්‍රණය දැනටමත් සකස් කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් පවසා තිබේ.

ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු තොගය ඉදිරි දින කිහිපය තුළදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය. එන්නත ලැබුණු වහාම ප්‍රමුඛතා ලැයිස්තුව අනුව එන්නත්කරණය සිදු කිරීම ආරම්භ කරන බවයි ඔහු පවසයි.

එන්නත්කරණය සම්බන්ධයෙන් පසුගියදා ස්ථාන කිහිපයකදී පෙරහුරු කිහිපයක්ද පවත්වා තිබේ.

ජනවාරි 22 වන දින ඖෂධ නියාමන අධිකාරිය ශ්‍රී ලංකාවේ හදිසි භාවිතය සඳහා ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත සඳහා අනුමැතිය ලබා දුන්නේය.

“හදිසි භාවිතය” යන පදය පැහැදිලි කරමින් ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය ජයසිංහ පවසා ඇත්තේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඖෂධ ලියාපදිංචියට අදාළ ක්‍රියාවලිය සිදුකිරීමට තරම් ප්‍රමාණවත් කාලයක් නොමැති නිසා ලොව පුරා කොවිඩ් -19 එන්නත් හදිසි භාවිතය සඳහා අනුමත කරන බවයි.

ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්ෂකවරයා පෙන්වා දී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයද කොවිඩ් එන්නත් හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදී ඇත්තේ ඒ නිසා බවයි.

මීට අමතරව තවත් කෝවිඩ් -19 මර්දන එන්නත් දෙකක්, එනම් රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී සහ ඉන්දියාවේ භාරත් බයෝටෙක් නිෂ්පාදිත කොවැක්සින් යන දෙකම ශ්‍රී ලංකාවේ භාවිතය සඳහා අනුමැතිය ඉල්ලා ඇතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

ඖෂධ නියාමන අධිකාරි ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහ පවසා ඇත්තේ සෑම එන්නතකටම අදාළ ලියකියවිලි මේ වනවිට ලැබී ඇති බවත්, තීරණයක් ගැනීමට පෙර මෙම සියලු ලියකියවිලි හොඳින් පරීක්ෂා කිරීම සිදුකරන බවයි.

මේ අතර චීනය විසින් නිෂ්පාදනය කරන කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත සඳහාද මෙම සතිය තුළදී අනුමැතිය හිමිවනු ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි. හදිසි භාවිතය සඳහා මෙම එන්නතද ලියාපදිංචි කිරීමට තීරණය කර ඇති බව ඇමතිවරයා පවසා තිබේ.

leave a reply