Breaking News

සිරකරුවෝ මනුෂ්‍යයෝ වෙන්නෙ තාප්පෙට විතරද ?

මහර බන්ධනාගාරයේ තිබූ ලේඛන, සිරකරුවන්ගේ අංක සහ ඡායාරූප වැනි දෑ විනාශ වී ඇති නිසා බන්ධනාගාර සිද්ධියෙන් මිය ගිය අයගේ මෘත ශරීර හඳුනාගැනීම පිළිබඳ ප්‍රමාදයක් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා තිබේ.

ඒවා හඳුනාගැනීමෙන් පසුව මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත බවත් ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

අද සවස්තුවනවිට තුවාල ලැබූ රැඳවියන්ගේ සංඛ්‍යාව 59ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මිය ගිය අට දෙනෙකුගේ සිරුරු රාගම රෝහලේ තැන්පත් කර ඇති බව ද ඔහු පවසා තිබේ.

බන්ධනාගාරය තුළ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් විද්‍යාත්මක සාක්ෂි ලබාගැනීම සඳහා ගම්පහ, කැළණිය සහ මීගමුව පොලිස් කොට්ඨාසවල අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් යෙදවීමට දැනටමත් කටයුතු කර ඇති බවත් මෙම විමර්ශන කැලනිය කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ අධීක්ෂණය යටතේ සිදු කරන බවත් 10 නෛකුගෙන් යුත් කණ්ඩායමක් ඒ සඳහා පත්කර ඇති බවත් අජිත් රෝහණ ප්‍රකාශ කරයි.

බන්ධනාගාරය තුළ පිහිටි ගබඩා, ලේඛනාගාර, බන්ධනාගාර අධිකාරි කාර්යාලය, සහකාර අධිකාරි කාර්යාලය සහ ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලය යන සියලු කාර්යාල විනාශ කර ඇති බව ද ගිනි තබා හෝ අලාභහානි කර ඇති ඒවායේ තක්සේරු වාර්තා ගැනීමට නියමිත බවද ඔහු පැවසීය.

බන්ධනාගාරයේ සිටි ඇප නියෝග ලබාසිටි එහෙත් නිරෝධායනයට ලක්වීමට අවශ්‍යව සිටි සිරකරුවන් 78 දෙනකු නැගෙනහිර පළාතේ අඩාලච්චේන නිරෝධායන මධ්‍යස්ථානය වෙත මේ වන විට යොමු කරමින් පවතින බවත් කොවිඩ්-19 ආසාදිත බවට තහවුරු වූ බන්ධනාගාර රැඳවියන් 187 දෙනකු කොළඹ බන්ධනාගාරයේ වි⁣ශේෂ වෙන් කරන ලද ඒකකයක් වෙත යොමුකරන බවත් ඔහු පවසා තිබේ.

ආණ්ඩුවේ ප්‍රතිචාරය

මහර බන්ධනාගාරය තුළ ගැටුම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් විය හැකි යයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වන විමල් වීරවංශ සඳහන් කරයි. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරද්දී වැලිකඩ බන්ධනාගාරයේ රැඳිවියන් 27 දෙනෙකු ඝාතනයට ලක්වූ බව සිහිපත් කළ ඇමැතිවරයා, වර්තමානයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිව සිටියදී ද බන්ධනාගාර රැඳවියන් ඝාතනයට ලක්වන බව ලෝකයට පෙන්වීමට මෙම ගැටුම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ලෙස මතුව ඇතැයි අවධාරණය කර සිටියේය.

ඊට අමතරව ඔහු පවසා ඇත්තේ “බුද්ධි අංශවලට තොරතුරු ලැබුණා මීට පෙර වැලිකඩ හිරගෙදර සමයං කියලා හිටපු පසුගිය කාලෙ මරා දමන ලද අපරාධකාරයාගේ ගෝලයෙක් හිටියා චතුරංග කියලා.

ඒ චතුරංග ඇතුළු කණ්ඩායමක් වැලිකඩ හිරගෙදර සරප් කියලා තියෙනවා යම්කිසි පෙත්තක්, ඒකට කියනවා රිවස් කියලාත්. ඒ පෙත්ත ගෙනල්ලා දවස් දෙකකදි හිරකරුවන් දෙදෙනා බැගින් දීලා බැලුවා. ඒ පෙත්ත ගැහුවාම ගරු කථානායකතුමනි, කෙනෙකුගේ ලේ දකින්න ඕනා. මේ ගොල්ලො මේ අත්හදා බැලීම කරලා මේ ගොල්ලො ලෑස්ති වුණා වැලිකඩ හිරගෙදර ඒ පෙත්ත පුළුවන් තරම් බෙදාහැරලා මිනීමරණ තත්වයක් ඇති කරගන්න.”

මේ අතර අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසා ඇත්තේ මහර බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වය පිටුපස අදිසි හස්තයක් තිබෙන බව විශ්වාස බවත් ඒ පිළිබඳ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන බවයි.

“මා දන්නවා, මහර රැඳවියන්ගේ ප්‍රධානතම ඉල්ලීම පීසීආර් පරීක්ෂණයක් සිදුකර තමාට ඒ වෛරසය වැළඳී ඇත්දැයි පරීක්ෂා කොට ඔවුන් රෝහල්ගත කිරීම හෝ අදාළලෙස නිරෝධායනයට යොමු කරන්න කියන ඉල්ලීමයි. ඒ ඉල්ලීම දිගින් දිගටම සිදුකළත් විසඳුමක් ලබානොදීම හේතුවෙන්, යම් නොසන්සුන්තාවයක් ඇතිව තිබෙනවා. ” යයිද ඇය වැඩිදුරටත් පවසා තිබේ.

 

ඥාතීන් හඬා වැලපෙමින් සමීපතමයන්ගේ තොරතුරු විමසයි
මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වය වාර්තාවීමත් සමග එහි රදවා සිටින තම ඥාතීන්ට සිදු වී ඇත්තේ කුමක්දැයි දැන ගැනීමට රැදවියන්ගේ ඥාතීහු බහුතරයක් බන්ධනාගාරය අසලට පැමිණ සිටියහ. ඔවුන් හඬා වැටෙමින් තම ඥාතීන් ජීවත්ව සිටිනවද නැද්ද යන්න තමන් නොදන්නා බවත් ඔවුන්ගේ ජීවිත බේරාදෙන ලෙස ඉල්ලා සිටින ආකාරය මාධ්‍ය වාර්තා කර තිබේ.

මහරදී ඝාතනය කළේ ‌තෝරා ගත් සිරකරුවන්ද? පුබුදු ජයගොඩ ප්‍රශ්න කරයි

Mass TV යූටියුබ් නාලිකාවට ප්‍රකාශයක් ලබාදෙමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ පවසා ඇත්තේ මහර බන්ධගනරයේ කොවිඩ් ආසාදිතයින් 180 ගණනක් සිටියත් ඔවුන්ව වෙන් කිරීමට, ප්‍රතිකාර කිරීමට හෝ PCR පරීක්ෂණ කිරීමට වැඩපිළිවෙලක් නොතිබූ බවයි. එසේම රැඳවියන්ට ආහාර ලබාදීම සම්බන්ධ ප්‍රශ්නයක් තිබූ බව ඔහු පවසයි. එම ගැටළු මුල් කරගෙන රැඳවියන් විසින් විරෝධතාවයක්
ආරම්භ කර තිබුණු බවද ඔහු පවසයි.

” වැලිකඩ සිදුවීමේ දෙවන සිදුවීමදමේ වුණේ කියලා බරපතල සැකයක් තියෙනවා. සමස්ථ සිදුවීම පිළිබඳ විමර්ශනයක් අවශ්‍යයි. වැලිකඩ සිරකරුවෝ නම කියලා අඬගහලා වෙඩි තිබ්බා කියන එක ගැන පැහැදිලි සාක්ෂි නිකුත් වෙලා තියෙනවා. ”

 

leave a reply