Breaking News

වරාය නැගෙනහිර පර්යන්තය විකුණන්නෙත් නෑ , බදු දෙන්නත් නෑ හැබැයි ආදානි සමාගමට ආයෝජනය කරන්න දෙනවලු

කොළඹ වරායේ, නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදු දීම හෝ නොකරන නමුත් නැගෙනහිර වාරයේ ආයෝජනය කිරීමට ආදානි සමාගමට ඉඩ ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වරාය වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පැවති හමුවකදී පවසා තිබේ.

ශ්‍රී ලංකා රජයට 51% ක අයිතිය සහ ඉතිරි 49% ඉන්දීයාවේ ‘අදානි’ සමාගමටත්, වෙනත් පාර්ශ්වයන්ටත් කොටස්කරුවන් වශයෙන් හවුල් විය හැකි ආයෝජනයක් ලෙස පර්යන්තය සංවර්ධනය කිරීම සැලසුම බව ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත. වරාය බටහිර පර්යන්තයේ මෙහෙයුම් වරාය අධිකාරියට පැවරීමට තමා අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා වරාය සංවර්ධනය සඳහා සැලසුම් ඉදිරිපත් කිරීමේ වැදගත්කමද වෘත්තීය සමිති නියෝජිතයන්ට පෙන්වා දුන් බව සඳහන් වේ.

පසුගිය රජය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමට ගිවිසගෙන තිබුණ බවත් විකිණීමෙන් පසු ජපානයෙන් ණයක් ගැනීමත්, ණය මුදලින් ඉදිකිරීම් සඳහා වන උපකරණ මිලදී ගැනීමත් ගිවිසුමට ඇතුළත් වී ඇති බව මෙහිදී ජනාධිපතිවරයා පවසා ඇත. ගිවිසුම පිළිබඳව වත්මන් රජය ඉන්දියාව සමග කළ සාකච්ඡාවලින් පසු 51% ක අයිතිය සහ පර්යන්තයේ පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ තබා ගැනීමේ එකඟතාවට පැමිණීමට හැකි වූ බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. එසේම ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ රට තුළ කෙරෙන ආයෝජන මගින් රටේ ස්වෛරීභාවයට හෝ ස්වාධීනත්වයට හෝ කිසිදු හානියක් වීමට තමා ඉඩ නොතබන බවයි.

මෙම සාකච්ඡාව සඳහා වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, වරාය අමාත්‍යාංශයේ ලේකම්, වරාය සභාපති ඇතුළු නිලධාරීහු සහ වෘත්තීය සමිති 23 ක නියෝජිතයෝ එක්ව සිට ඇත.

ජනාධිපතිවරයා මේ පටලවමින් මේ කියා ඇති කතාව අමුතු එකක් නොවේ. කොළඹ වරාය අධිකාරියට සහ ආදනි සමාගමට කොටස් බෙදී යාමට කතිකා කරගෙන තිබුණේ මේ කියන ආකාරයටමයි. නමුත් විශේෂඥයන් සඳහන් කරන ආකාරයට කොටස් වැඩිපුර තිබූ පළියට නැගෙනහිර පර්යන්තයේ පාලනය අපිට හිමි නොවේ.

ඉන්දියාවේ ආදනි සමාගම සමඟ ලංකාවේ ආණ්ඩුව ගිවිසුම් ගතවූ පළමු මොහොතේම හෙළිවූ කරුණු අනුව ඒ බව පැහැදිලි වේ.

මෙම නැගෙනහිර පර්යන්තයේ විශේෂත්වය ලෙස සඳහන් වන්නේ මෙය මීටර් 1,200ක් දිගින් , මීටර් 18ක් ගැඹුරින් යුක්ත වීමත් සමඟ විශාල ප්‍රමාණයේ නැව් පැමිණිය හැකි වීමයි. එසේම මෙය චීන සමාගම පාලනයේ පවතින කොළඹ ජාත්‍යන්තර බහාළුම් පර්යන්තය (CICT) හා සමාන වෙන්නක්.

නමුත් කොළඹ ජාත්‍යන්තර බහාළුම් පර්යන්තයට නැති වාසියක් මෙහිදී නැගෙනහිර පර්යන්තයට හිමිවෙන බව විශේෂඥයන්ගේ අදහස විය. එය නම් සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් (SAGT) නම් පර්යන්තයද මෙය අසළ තිබීම නිසා එය යොදාගෙන විශාල නෞකා මෙන්ම කුඩා නෞකා පැමිණීමට ඉඩ ලබාගැනීමයි. ඒ හරහා සුවිශේෂ පර්යන්තය පාවිච්චි කරන බහාළුම් හිමිකරුවන්ට අන්තර්පර්යන්ත හුවමාරු (Inter Terminal Transit – ITT) වියදම් කපා හරින්න අවස්ථාව ලැබීම හරහා දැනට ඇති කිසිදු පර්යන්තයකට නැති වාසියක් නැගෙනහිර පර්යන්තයට ලැබීමයි.

යම් ආකාරයකට මේ පර්යන්ත දෙකම අත්පත් කර ගන්නා පාර්ශවය කොළඹ වරායේ ප්‍රමූඛයා වීම කිසිසේත්වැළක්විය නොහැකි බව විශේෂඥ අදහස් විය.

සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් (SAGT) හි වැඩි හිමිකාරිත්වය පැවතියේ ජෝන් කීල්ස් සමාගමටයි. ඒ අනුව නැගෙනහිර ජැටිය ලබාගැනීමේ ගනුදෙනුවේදී ජෝන් කීල්ස් සමාගම, අදානි සමූහය සමඟ එක්වීම යනු ඉදිරියේදී සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් පර්යන්තයද නැගෙනහිර පර්යන්තය සමඟ එක්ව කටයුතු කිරීමකි. මේ අනුව කොළඹ වාරයේ ප්‍රමුඛයා බවට ඉන්දියාව නිතැතින්ම පත්වෙනු ඇත.

 

leave a reply