Breaking News

අලුත් අවුරුද්ද සුබ කරගන්න ජනතා බලයක් ගොඩනැගිය යුතුයි – පුබුදු ජයගොඩ

අලුත් අවුරුද්ද සුබ කරගැනීම සඳහා ජනතාවගේ බලයක් ගොඩනැගිය යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. ඊයේ කොළඹදී පැවති වැට් බදු වැඩි කිරීමට එරෙහිව ජනතාව දැනුවත් කිරීමේ අවස්ථාවේදී එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ බව පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ,
”නව වසර ආරම්භ වෙනකොටම ආණ්ඩුව නත්තල් තෑගී ගොඩක් දීලා තියෙනවා. අද වෙනකොට පෙට්‍රල් ලීටරයක මිල රු 20න් ඩීසල් ලීටරයක මිල රු 26න් වැඩිකරලා තියෙනවා. රු 600 ගානකින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල වැඩිවෙලා. ටී එකේ ප්ලේන්ටි එකේ ඉදලා හැම එකකම මිල වැඩිවෙලා. දැන් නිවේදනය කරලා තියෙනවා ජල ගාස්තු නැවත වැඩිවෙනවා. විදුලි ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයෙන් විමසීමක් කරලා තියෙනවා. ගල් අඟුරුවලටත් වැට් ගහලා තියෙන නිසා ඒ වැට් එක පාරිභෝගිකයාට එකතු කරනවද කියන එක විදුලි බල මණ්ඩලය විමසලා තියෙනවා. දුරකථන සඳහා වන බද්ද 42% සීමාවට ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ අපි රීලෝඩ් එකක් දැම්මම අපි කතා කරන්නේ රු 58යි. රු 42ක්ම බදු තියෙන්නේ. 2023 අවුරුද්දේ හතර දෙනෙකුගේ යුත් පවුලක් මාසෙකට රු 19000ක් වගේ බදු මුදලක් ගෙව්වේ. 2024 අවුරුද්දේ රු 32000ක භාණ්ඩ හා සේවා බද්දක් ගෙවන්න වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ පවුල් කියෙන් කීයටද 32000ක ආදායමක් ලැබෙන්නේ. රජයේ ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව කියන විදිහටම 2020 මුල වෙද්දී 04දෙනෙකුගෙන් යුතු පවුලක මාසික වියදම තිබුනේ රු 59000යි. දැන් ඒක 170000ට නැගලා. ඒ කියන්නේ 222%කින් වියදම ඉහළ ගිහින්. කිසිම කෙනෙකුගේ ආදායම ඉහළ ගිහින් නැහැ. ඒක මැදට තමයි තව බදු ගහලා තියෙන්නේ. දරුවා ඉපදෙනකොට පාවිච්චි වෙන වෛද්‍ය උපකරණවල ඉදලා ඊළඟට ඉස්කෝලේ යනකොට පාවිච්චි වෙන පාසල් උපකරණවල ඉදලා ආහාර ද්‍රව්‍යවල ඉදලා ගලි බවුසරේ ඉදලා අන්තිමට මිනීවල දක්වාම වැට් බදු ගහලා තියෙනවා. මෙහෙම වෙද්දී ධන කුවේරයෝ කිසිම කෙනෙකුගෙන් බදු ගන්නේ නැහැ. විශාලතම අරක්කු සමාගම් සුරාබදු ගෙවල නැහැ. රුපියල් බිලියන 904ක් තියෙනවා පොහොසතුන් රජයට නොගෙවපු බදු මුදල්.

මේවා ඉස්සරහ තවදුරටත් ඔලුව නවාගෙන ඉන්නවද? හම්බෙන තුට්ටු දෙක රජයට බදු විදිහට ගෙවනවද මේ හොර තක්කඩි රැලට. එහෙම නැත්තම් වෙන දේශපාලන විකල්පයක් තෝරනවද කියන තීරණය ජනතාව ගත යුතුව තියෙනවා. ”

leave a reply