Breaking News

“මුං ඔක්කොම එක යි මල්ලි” වාම ජනප්‍රියවාදය,රන්ජන් හා ලංකාවෙ වම

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

රන්ජන් සිරගත කිරීමත් සමඟ ලංකාවෙ වාම බුද්ධිමතුන් හා සිතන්නන් අතර සුපුරුදු පරිදි යළිත් මත ගැටුම් රාශියක් නිර්මාණය වෙමින් ඇත.ඒ අර්ථයෙන් බැලූ විට ලංකාවෙ වම තමන්ව ම අනෙකා කර ගනිමින් සැබෑ අනෙකා තමා තුළට අභ්‍යන්තරීකරණය කර ගැනීමට උත්සාහ දරන ස්වරූපයක් විශද කරමින් සිටී.මේ ප්‍රවේශය ඒ සම්බන්ධයෙන් සංවාදයක් තනා ගැනීමට මිස අප අතර තව තවත් දුරස්ථතා තනා ගැනීමට නො වන බව ප්‍රථමයෙන් පැවසිය යුතුය.

රන්ජන් වමේ සිටිය යුතු පුද්ගලයෙකු බව පැවසීමේ සිට රන්ජන් වෙනුවෙන් පෙනී සිටීමේ කිසිදු හරයක් නොමැත යන අදහස දක්වා මේ මතවාදී පරස්පරය පැන නැඟෙනු දක්නට ලැබිණ.

වාම ජනප්‍රියවාදයට අදාළ අදහසක් ලෙස සුමිත් චාමින්ද ඇතුළු වාම බුද්ධිමතුන් කණ්ඩායමක් මේ මොහොතේ රන්ජන් වමේ සිටිය යුතු පුද්ගලයෙකි යනුවෙන් ඉදිරිපත් කරන අදහස සම්බන්ධයෙන් අපි මුලින් ම සලකා බලමු.

අපගේ අදහසට අනුව ජනප්‍රිය පුද්ගලයන් වමට ගැනීමෙන් වාම ජනප්‍රියවාදයක් ගොඩ නැඟිය නො හැකිය.ඉන් අදහස් වන්නේ ජනප්‍රිය පුද්ගලයන් වමට අනවශ්‍ය බව නොවේ. එහෙත් ජනප්‍රිය වීම පමණක් වමේ වීමට සුදුසුකමක් නො වේ. රන්ජන් අයුක්තියට,අසාධාරණයට එරෙහිව හඬ නැඟූ අප ආදරය කරන මිනිසෙකි. ඔහු සිරගත කිරීම සම්බන්ධයෙන් අපි අපගේ හදවතින් ම දුක් වෙමු. ඔහු වාම දේශපාලන ක්‍රියාධරයෙකු වන්නේ නම් ඒ සම්බන්ධයෙන් අපි ද ඉහළින් ම සතුටු වෙමු.

එහෙත් ඔහු මේ වන තුරු වමේ දේශපාලනයට සම්බන්ධ වී නැත. ඔහු වමට ගැනීමට නො හැකි වීම සම්බන්ධයෙන් මේ මොහොතේ ලංකාවේ සෑම වාම ක්‍රියාධරයෙකු ම වගකිව යුතු අතර රන්ජන්ට ද ඒ සම්බන්ධයෙන් වගකීමක් පවතින බව ලියා තැබිය යුතුය. එනිසා රන්ජන් වමේ නො වීම සම්බන්ධයෙන් මේ මොහොතේ වම වෙනුවෙන් පෙනී සිටින අය අතර අර්බුදයක් ඇති කර ගැනීම දයාලෙක්තිකය අමතක කර දැමීමකි.
එ.ජා.ප. හා සමගි ජන බලවේගය යනු ඔහුගේ තෝරා ගැනීම ය. දූෂණයට එරෙහිව ඔහු කෙතරම් හඬ නැඟුව ද දූෂණයේ ගර්භාෂය තනන තැන වන ධනේශ්වර ලිබරල් දේශපාලනයෙන් තීරණාත්මකව කැඩී වෙන්වීමට ඔහු තව ම සමත් වී නැත. “මුං ඔක්කොම එක යි මල්ලි” ගනයේ ජනප්‍රිය දේශපාලන තේමාවක් නිර්මාණය කිරීමට හේ සමත් වුව ද ඒ “ඔක්කොමගෙන්” වෙන් වීමට ඔහුට හැකි වී නැත.ඔහුගේ කේවල සටන ඵල නො දරනුයේ මේ හේතුවෙනි.මේ සිර දඬුවම ඔහුට ඒ බව අවබෝධ කර ගැනීමට විවේක කාලයක් ලෙස භාවිත කළ හැකිය.

රන්ජන් එය අවබෝධ කර ගත්ත ද නො ගත්ත ද වමට රන්ජන් එය අවබෝධ කර ගෙන වමට පැමිණෙන තුරු බලා සිටිය නො හැකිය.සැබැවින් ම සිදු විය යුත්තේ වමේ “රන්ජන්ලා” නිර්මාණය වීම ය.ඉන් අදහස් වන්නේ රන්ජන් මෙන් පොදු ජනයාට සමීප භාෂාවක් සහිත ක්‍රියාකාරී ජනප්‍රිය මිනිසුන් වම තුළින් ම,වාම සංස්කෘතිය තුළින් ම බිහි කර ගැනීම ය.රන්ජන්ට මෙන් එය වමට උපයා ගැනීම පහසු නැත.රන්ජන්ටත් වඩා පොදු ජනයාගේ ගැටලු වෙනුවෙන් හඬ නැඟූ ලංකාවේ වමට රන්ජන්ට මෙන් ජනප්‍රිය වීමට හැකි වී නැත්තේ හුදු වමේ ම දුර්වලතාවයක් නිසා ම නොව එය ග්‍රාම්ෂි පවසන ආකාරයට සමාජ – සංස්කෘතික අවකාශයේ දෘෂ්ටිවාදී බලය හිමි කණ්ඩායම විසින් හිතාමතා ම සිදු කරන නො සලකා හැරීම්වල ද ප්‍රතිඵලයක් වන බැවිනි.එබඳු තත්ත්වයක් යටතේ වමේ උන් ම කා කොටා ගැනීම ද යළිත් වරක් ඒ උගුලේ ම දැවටීමක් මිස අන් යමක් නො වේ.

දෙවනුව අප සාකච්ඡා කළ යුතු වන්නේ රන්ජන් වෙනුවෙන් පෙනී සිටීමේ කිසිදු හරයක් නැද්ද, යන්න යි.එය ද උක්ත කරුණ මෙන් ම පිළිගත නො හැක්කකි.රන්ජන් කවර දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු වුව ද ඔහුගේ ක්‍රියාකාරකම්වල කෙතරම් වාම සංස්කෘතියට නො සරිලන චර්‍යාවන් පැවතිය ද මේ මොහොතේ ඔහු වෙනුවෙන් පෙනී සිටිය යුතුම ය.

ධනේශ්වර දේශපාලන ආයතන හා භාවිත සම්බන්ධයෙන් කවර තරමේ විවේචන හා සැකසංකා අප සතු වුව ද මිනිසුන් සම්බන්ධයෙන් වන අපගේ ආදරය හා වගකීම අපට අත් හළ නො හැකිය.අපගේ අරගලය එම ආයතන හා භාවිතයන්ගේ නිසරුකම දක්වන අතරේ ම මිනිසුන් සම්බන්ධයෙන් වන අපගේ අත්‍යන්ත වගකීම් සහගත භාවය ආරක්ෂා කරන්නක් විය යුතුය.එහි දී ද දයාලෙක්තිකයෙන් බොහෝ පාඩම් ඉගෙන ගැනීමට ඒ මතය දරන පෙසප බඳු වාම කණ්ඩායම්වලට සිදු වන බව ලියා තැබිය යුතුය.

සහෝදරවරුනි,රන්ජන්ට ලව් කරමින් වමට ම ගරහා ගැනීම නවතන්න.
එසේම අනෙකාට ලව් නො කර තමාට ආදරය ලැබෙනු ඇතැ යි ද විශ්වාස නො කරන්න.

leave a reply