Breaking News

කොක්කුතුඩුවායි සමූහ මිනිවළ කැණීමෙන් ගොඩගත් මිනිස් සිරුරු සංඛ්‍යාව 43 දක්වා ඉහළට

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනිවළ තුළින් තවත් මිනිස් සිරුරු 3 කට අදාළ අස්ථි කොටස් අද (ජූලි 11වැනිදා) ගොඩගත් බව කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පැවසීය.

කොක්කුතුඩුවායි සමූහ මිනිවළේ, මුලතිව් සිට කෝකිලායි දක්වා දිවෙන මාර්ගය ආශ්‍රිත කොටස හෑරීම තුළින් මෙම අස්ථි කොටස් ගොඩගත් බව සෝමදේව සඳහන් කළේය.

ඔහු පැවසූවේ සිව්වන අදියරේ කැනීම් තුළින් අදාළ මිනිස් සිරුරු තුනට අදාළ අස්ථි ගොඩ ගත් බවය.

නව කැණීම් වලින් මිනිස් සිරුරු 7ක් සමූහ මිනිවළ තුළින් මතුකරගෙන ඇති බවත්, ඉන් මිනිස් සිරුරු තුනකට අදාළ අස්ථි තාක්ෂණික ක්‍රම අනුගමනය කරමින් පරීක්ෂාකාරී ලෙස අද ගොඩ ගත් බවද ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා පැවසුවේය.

ආරක්ෂක අංශ භාවිතා කරන පතුරම් උණ්ඩ කිහිපයක්, කැළෑ ඇඳුමකට සමාන ඇදුම් කොටස් හා කම්බි කොටස් කිහිපයක් සිව්වන අදියරේ කැණීම් වලින් මතුකර ගැනීමට හැකිව ඇති බවත්, සෙසු අස්ථි කොටස් ඉදිරියේදී ගොඩ ගැනීමට නියමිත බවත් කැනීම් නිලධාරීන් පැවසීය.

සමූහ මිනිවළ ආශ්‍රිත අස්ථි කොටස් විහිදී ඇති බවට සැකකරන සමූහ මිනිවළ ආසන්නයේ පවතින මුලතිව් සිට කෝකිලායි දක්වා දිවෙන මාර්ගය හෑරීමේ කටයුතු ජුලි 5 වැනිදා ආරම්භ කළ අතර මාර්ගයට අයත් සීමාවේ කැනීම් තුළින් මෙම අස්ථි කොටස් මතුකරගෙන තිබුණි.

මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන්ගේ අධීක්ෂණය යටතේ කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේව, මුලතිව් දිස්ත්‍රික් රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි කනකසභාපති වාසුදේව ඇතුළු කැනීම් නිළධාරීන් කණ්ඩායමක් විසින් අද (ජුලි 11වැනිදා) කැනීම් සිදුකළහ.

සමූහ මිනිවළ කැණීමේ තුන්වන අදියර වන විට මිනිස් සිරුරු 40 කට අදාළ අස්ථි ගොඩගෙන තිබු අතර, අලුතෙන් තවත් මිනිස් සිරුරු තුනකට අදාළ අස්ථි කොටස් අද (ජුලි 11 වැනිදා) ගොඩ ගැනීමත් සමඟ මේ දක්වා සමූහ මිනිවළ තුළින් අස්ථි කොටස් 43 කට අදාළ අස්ථි කොටස් මතුකරගෙන ඇති බවද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පැවසුවේය.

 

කොක්කුතුඩුවායි සමූහ මිනිවළ: 1994 – 1996 කාලයට අයත්
කොක්කුතුඩුවායි සමූහ මිනිවළ 1994 – 1996 දක්වා කාලයට අයත්විය හැකි බවට සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැනීම් කටයුතුවලට එක්වු පුරාවිද්‍යා නිලධාරීන් නිගමනය කරන බවට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් මඟින් දන්වා ඇතැයි, මුලතිව් දිස්ත්‍රික් රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි කනකසභාපති වාසුදේව පවසයි.

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනිවළ කැනීම සම්බන්ධයෙන් මේ දක්වා තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ කමිටු වාර්තාව (පෙබරවාරි 22වැනිදා) මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කනකසභාපති වාසුදේව එලෙස පැවසුවේය.

කොක්කුතුඩුවායි සමූහ මිනිවළ සම්බන්ධයෙන් මේ දක්වා කැනීම් කටයුතු, කැනීම්වලීන් ලබාගත් දෑ, කැනීම් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන වාර්තාවක් කැනීම් කමිටුව විසින් මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් වෙත ඉදිරිපත් කොට තිබුණි.

සමූහ මිනිවළ නැවත කැනීම මාර්තු මස 4 වැනිදා යළි ආරම්භ කිරීමට නියමිත අතර,කැනීම් කටයුතු වෙනුවෙන් මුල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම ගැටළුවක් වී ඇති බව අතුරුදන්වූවන්ගේ ඥාතීහූ විසින් සඳහන් කරනු ලැබූහ.

 

ගොඩගත් අස්ථි කොටස්වල පරීක්ෂණ තත්ත්වය
සමූහ මිනිවළ තුළින් ගොඩගත් අස්ථි කොටස් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් මේ දක්වා සිදු කොට නොමැති බව මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ නිළධාරි කනකසභාපති වාසුදේව සඳහන් කරයි.

අධිකරණ නියෝග යටතේ කැනීම් කටයුතු භාර පුරාවිද්‍යා මහචාර්යවරුන් කණ්ඩායම හා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි කමිටුව යටතේ අස්ථි කොටස් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව ඔහු පැවසුවේය.

එහෙත් විශේෂඥ කමිටුවක් හරහා අස්ථි කොටස් පරීක්ෂා කිරීම සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරීන් කණ්ඩායමක් එක්විය යුතු අතර, අදාළ පරීක්ෂාවන් වෙනුවෙන් මුල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම ගැටළුවක් වි ඇති බවද අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.

 

සමූහ මිනිවළ සම්බන්ධයෙන් පුරාවිද්‍ය නිළධාරි මතය
සමූහ මිනිවළ කැනීම් කටයුතු කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍ය අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු කණ්ඩායමක් සිදුකළ අතර, රාජ් සෝමදේව කැනීම් සම්බන්ධයෙන් පැවසූවේ , සමූහ මිනිවළ හමුවු ස්ථානයට ඔබ්බෙන් වන මුලතිව් කොක්කුතුඩුවායි මාර්ගයේ කොටසක්ද කැනීම් කටයුතු වෙනුවෙන් කඩා ඉවත් කළ යුතු බැවින්, ඒ සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ අවසරය ලබාගැනීම වෙනුවෙන් සමූහ මිනිවළ කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමු බවයි.

සමූහ මිනිවළ තුළින් මේ දක්වා මිනිස් සිරුරු 40 ක සංඛ්‍යාවක් ගොඩගෙන ඇති අතර, තවත් අස්ථි කොටස් කිහිපයක් ගොඩගැනීමට නියමිත බවද ඔහු පැවසුවේය.

දැනට මීටර 14 ක් දිග,මීටර තුනක් පළල අඟලක් හාරා අවසන් බවත්,තවත් අවම වශයෙන් මීටර දෙකක් පළල, මීටර් තුනක් දිග කොටසක් හැරීමට නියමිත අතර, සමූහ මිනිවළ තුළින් හමුවු අස්ථි කොටස් විධිමත් සුසාන භූමියක මළ සිරුරු තැන්පත් කොට ඇති ආකාරයට තැන්පත් කොට නොමැති බවත්, හමුවු අස්ථි කොටස් අවිධිමත් ආකාරයට වළ දමා ඇති බවටත් නිරීක්ෂණය වන බවත් සෝමදේව ප්‍රකාශ කළේය.

 

සමූහ මිනිවළ තුළින් හමුවු දෑ
සමූහ මිනිවළ දෙවැනි අදියර කැනීම් තුළින් පූර්ණ මිනිස් සිරුරු 17 කට අදාළ අස්ථි කොටස් ගොඩ ගැනීම සිදුකළ අතර, තෙවැනි අදියරේ කැනීම් තුළින් මේ දක්වා මිනිස් සිරුරු 23 ක අස්ථි කූඩු මතුකර ගැනීමට හැකිවි ඇති බව කැනීම් නිළධාරීන් පවසයි.

සමූහ මිනිවළ තුළ තිබි පතුරම් උණ්ඩ වැනි කොටස් හා LTTE සංවිධානයේ සාමාජිකයින් හදුනාගැනීමට පළදින ලද යැයි කියන අංක තහඩු , අපවිත්‍ර ජලය පවිත්‍ර කරන උපකරණයක්, සයිනයිඩ් කරලක්, කාන්තා තනපට, ආරක්ෂක අංශ භාවිතා කරන කැළෑ ඇදුමට සමාන ඇඳුම් වැනි උපකරණ රැසක්ද හමුවු බවද කැනීම් නිලධාරීන් පැවසීය.

 

සමූහ මිනිවළ ස්කෑන් පරීක්ෂාවකට ලක් කිරීම
මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනිවළ සම්බන්ධයෙන් 2023 නොවැම්බර් 24 වැනිදා හා 25 වැනිදා ස්කෑන් පරීක්ෂාව සිදුකළහ.

මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ භූ ගතව පවතින ලෝහ, අස්ථි හා ආයුධ සොයා පරීක්ෂණ පවත්වන විශේෂ කණ්ඩායමක් විසින් සමූහ මිනිවළ අවට සීමාව ස්කෑන් පරීක්ෂණයක් පැවැත්වූහ.

කැනීම් නිළධාරීන් පැවසූවේ සමූහ මිනිවළ තුළ ආයුධ,ලෝහ හෝ වෙනත් යමක් පවතින්නේද යන්න සම්බන්ධයෙන් ස්කෑන් පරීක්ෂාවේදී පරීක්ෂා කළ බව ය.

මුලතිව් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ සිදුකළ ස්කෑන් පරීක්ෂාවට අනුව සමූහ මිනිවළ මුලතිව් සිට කෝකිලායි දක්වා දිවෙන ප්‍රධාන මාර්ග සීමාව දක්වා විශාල විය හැකි බවට අනාවරණය වි ඇති බව ය.

දැනට කැනීම් සිදුකරන ස්ථානයේ සිට තවත් මීටර පහක පමණ දුරකට සමූහ මිනිවළ දිවෙන බවට ස්කෑන් පරීක්ෂා වලින් මුලිකව නිරීක්ෂණය වී ඇතැයි, මුලතිව් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසීය.

 

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් මොකද කියන්නෙ ?
මුලතිව් දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ සමූහ මිනිවළ තුළ යුද සමයේ අතුරුදහන්වූ තමන්ගේ දරුවන්ගේ මළ සිරුරු අස්ථි කොටස් ඇති බවට තමන් විශ්වාස කරන බව ය.

සමූහ මිනිවළ තුළ අති සිරුරු අස්ථි කොටස් එකපිට එක පවතින ආකාරයට අස්ථි කොටස් විශාල ප්‍රමාණයක් පවතින බවට නිරීක්ෂණය වන බැවින් අතුරුදහන්වූවන් ඝාතනය කොට අදාළ වළට දමා ඇති බවට තමන්ට මහත් සැකයක් පවතින බවද අතුරුදහන්වූවන්ගේ ඥාතීහූ පවසති.

“සමූහ මිනිවළ කැනීම් කටයුතු දැන් නොවැම්බර් 29 වැනිදා ඉදලා මාස හයක කාලයක් නවතා තිබෙනවා.කැනීම් කටයුතු නවතා දැමීම කුමන්ත්‍රණයක්.”සමූහ මිනිවළ කැනීම් කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන ලබානොදීම ගැටළුවක් වි ඇති බවද ඔවූහු පැවසූහ.

BBC වෙබ් අඩවිය ඇසුරිනි

leave a reply