Breaking News

ගෙවුණු දශක කීපය කියවන ඉන්ද්‍රානන්ද සිල්වාගේ  ” සිරකරුවෝ “

හිල්මි සුපුන් 

කර්තෘ ප්‍රකාශනයක් ලෙස 2018 වර්ෂයේ එළිදැක්වූ  ඉන්ද්‍රානන්ද සිල්වා සහෝදරයාගේ ” සිරකරුවෝ ” කාව්‍ය සංග්‍රහය පිළිබඳව යම් සටහනක් තබන්න අදහස් කරගෙන සිටිය මුත් ඒ සඳහා ගත වෙච්ච කාලය ඉතාම දීර්ඝයි. 2018 ජුනි 28 වැනිදා ලංකාවේ සිට ඉතාලියට එන ගමනේ දී ගෙවී ගිය පැය විස්සක්  පමණ  දීර්ඝ වෙලාවෙදි මේ  කාව්‍ය සංග්‍රහය  දෙවතාවක් කියවා අවසන් කරන්න හැකි වුණා.  නමුත් ඒ පිළිබඳව අදහස හිතේ පැහැව පැහැව තිබුනත් අකුරු බවට පත් කරගන්නට වසර  දෙකක කාලයක් ගත වී ගියා.

80 දශකය ලංකාවේ දේශපාලනය තුළ ඉතාම කලබලකාරී දශකය ලෙස හඳුන්වන්න පුළුවන් .අසූ තුනේ කළු ජූලිය  ,88-89 අරගලය මෙකළ  දේශපාලන කලබගෑනින් අතර  ප්‍රමුඛ සිද්ධීන් බවට පත්වෙනවා .ඒ  විතරක් නෙමෙයි ජෙ.අර්  හඳුන්වා දුන් නව ආර්ථික ක්‍රමයෙ මායාකාරී ස්වභාවය තුළ මිනිස්සු අතරමං  වෙච්ච කාර්තුව  වගේම ඒ මායාකාරී කඩතුරාවෙන් මිදෙන්නට මිනිස්සු පොර බදන්න ආරම්භ කරන කාලයද වෙනවා.

මෙම කාව්‍ය සංග්‍රහය තුළ  අඩංගු  බොහෝ කවි ස්ථානගත වෙන්නේ අපි පසුකරන් ආපු  දශක කීපය තුළ සිදු වෙච්ච දේශපාලනික වෙනස්වීම් තුළ  මිනිසා ඇද වැටීමේ ඛේදවාචකයන් පිළිබඳවයි . ඉන්ද්‍රානන්ද සිල්වා සහෝදරයාගේ  ” සිරකරුවෝ ” කාව්‍ය සංග්‍රහය දේශපාලන ප්‍රකාශනයක් කිව්වොත් නිවැරදියි .ඒ සඳහා උදාහරණ මොනවාද කියලා පෙන්නන්න උත්සාහ කරනවාට වඩා මේ කාව්‍ය සංග්‍රහයේ එන කාව්‍ය එකතුවම ඒ සඳහා උදාහරණයක් ලෙස හුවා දැක්වීම පහසුයි .

මෙහි පළමු කවියට ඔහු නම තබන්නේ  “විවාහක රූ රැජිණ නිවසේ දරු නැලවිලි ගීය” කියලා. විවාහක රූ රැජිණ කියන විට මගේ සිහියට එන්නේ රෝසි සේනානායකව.  ජෙ.අර්  ඔහුගේ පාලන සමය ආරම්භ කරන මොහොත වන විට රටේ මිනිස්සු හිටියේ  සිරිමා විසින් පනවා තිබුණු සීමාකාරී ජීවිතය  ඇතුලෙ.  ජේ ආර් පාලනය ආරම්භ කරලා වසරක් දෙකක් යන විට මේ සියලු සීමාවන් ඇරිලා අසීමාන්තික ලෙස දේවල් ඇතුළට ගලාගෙන එන්න පටන් ගන්නවා. ලෝකයේ තිබෙන දේවල් ලංකාව ඇතුලේ ඒ විදියට පෙනෙන්න ගත්තහම දේශපාලකයෝ කිවුවේ  ලෝකය ලංකාව ඇතුළට ගලාගෙන එනවා කියලා.එසේ ඇතුළට එන දේවල් පරිභෝජනය කිරීමට  අවශ්‍යය ආකල්පමය වෙනස සිද්ධ කරන්න රෝසිලා අපේ ගෙවල් වලට ආවේ ටීවී  ගුවන් විදුලිය හරහා.  ලස්සන ළමයින්ට චීස් බටර් කවන  පිටි කිරි පොවන ලස්සන අම්මා කෙනෙක්, ආකල්ප විතරක් නෙමෙයි හීනත් ගෙනත් අපේ ගමේ ගෑනුන්ගේ ඔඩොක්කුවට අතෑරියා. ළමයි  ලැබුණම බඩ එල්ලෙනවා, රූ සිරි අඩු වෙනවා, දෙතන කඩා හැලෙනවා, ඒවා  සාමාන්‍ය දේවල් එහෙම  හිතපු  සමාජයට  රෝසිලා හරහා  ගෙනත් පැළ කෙරුවා  ළමයින්ට චීස් බටර්  කවලා පිටි කිරි පොවලා  අම්මට අම්මගේ ශරීරය ලස්සනට තියාගෙන ඉන්න පුළුවන් කියන ආකල්ප .

 බාළොලි ළොලි – ළොලි ළොලි
 නාඬා නිදියන් දියණි 

නාඩන් නිදියන් දියණි
නුඹේ අම්මා කොතැන ගියා 
රූ රැජිණක් වෙන්න ගියා 
රට පිටිකිරි  ගෙනත් තියා 
දූට දෙන්න කියලා ගියා

දරු සෙනෙහස තුළයි ලොවේ 
මව් දෙතනට  කිරි එරුනේ 
මව් රැජිණිය වනදා 
ඇගේ දියණිට කිරි අහිමි 

මන්දිර පාමුල වැතිරී 
සත්පත්තිනි මවක් හිදී 
කිරි බිඳුවක් පුතුට දෙන්න 
ඒ මව් සිඟමන් යදිති
 
නුඹට උරුම කිරි සැඟවූ 
මවක් නොවුණි රූ රාජිණි   
කිරුළු දරා සිනා සිසී 
දැන් සවුදිය පුරනු ඇතී

මේ කවිය තුළ පවතින්නේ ගැටුමකි. පැරණි ආකල්ප නව ආකල්ප සමඟ   ගැටීමකි. සිංහල බෞද්ධ සංස්කෘතිය එසේම රැක ගන්නට උත්සාහ කරන අතරේ ආර්ථික මොඩල් එක  උඩින් ගෙනත් ඇත හැරීම තුළින්, පැරණි සංස්කෘතිය  බිහිවෙන නව සංස්කෘතික  ආකල්ප අතර ගැටුම හට ගන්නවා. දරුවන්ට කිරි පිටි පොවලා රූ රැජිණක් වෙන්න යන අම්මා  තත්ත්වයෙන් බාල වී පැරණි සමාජයට පේන්න ගන්නවා .  සත් පත්තිනි අම්මා මාර වෙන්නේ ඒ නිසයි.

” මැද පෙරදිගට ලියුමක් ”  කවියෙන් කතා කරන්නේ   ශ්‍රමය  විකුණන්නට අම්මා මැදපෙරදිගට ගියායින් පසුව තාත්තා සමග ගෙදර තනි වන දරුවන්ට අත්වන ඉරණමයි.  රට රැකියාවන් සඳහා කාන්තාවන්ට  දොර විවර වන විට ඒ දොරෙන්ම රටට ඇතුල් වුණේ  නා නා  විධ ව්‍යසනයන් ය. අසූව දශකයේ මුල් වසර 2 පමණ වනවිට මුලින්ම විදෙස්ගත රැකියාවන් සොයා ගෙන ගිය කාන්තාවන් ලංකාවට පැමිණීම ආරම්භ වෙනවා . ගමට පැමිණෙන එම කාන්තාවන් එතෙක් ගම නොදැක තිබුණු බොහෝ වෛවාරණ ගමට අරගෙන ඒම තුළින් ගමේ අනිකුත් කාන්තාවන්ගේ ද රට රැකියාවක් කරා යෑමේ උවමනාව සරුපසක පැලයක් සාරවත්ව පැල වෙන්නා සේ පැළ වෙන්නට ගන්නවා. තාත්තට ගෙදර බාරදීලා  රට ගිය අම්මාට  නැවත ගෙදර එද්දී  ආදරණීය පවුලක් යළි හමුවුණේ  ඉඳහිට දී පමණි. බොහෝ තැන්වල විනාශ වුණු දරුවන්ද කඳුළු බොන අම්මලාද   පවුල කඩා ඉසිරුණු තැන්වල පියවරු හමුවුණි.

වැලි කතරේ කඳුළු කාසි මල් අහුලන අම්මේ 
මහා විපත්තියක් හිතට කොඳුරයි රෑ පවනේ  
නුඹේ පැතුම් විජිතයේ මට රැකවරණය නෑනේ 
සල්ලි නොවේ අම්මේ මට නුඹේ උණුසුම ඕනේ

 අම්මලා රට රැකියා සොයාගෙන ගිය නිවෙස් වල වැඩුණු දියණියන්ගේ  ඛේදවාචකය ලියවුණේ ගිනිගත්  පියවරුන් අතින්මයි. පොතේ 28 වන පිටුවේ  තියෙන්නේ  ” විවෘත ආර්ථිකයේ ඵලදාව ” කවිය.

අපරාදේ….. 
ණය ගෙවන්න බෑ කියලා  
පෑලිස් සිංඤො බිව් වස බෝතලයේ  
තුන් කාලක් බිම හැළිලා  
වේලාසන ආවානම්   
මැස්සෝ බීපු 
දෙණියෙ කුඹුරු කෑල්ලටම 
ඉහළ ගන්නට මට තිබුණා 
ඒ වස ටික

” ගොවියාගේ හිතමිතුරා ලංකෙම් ”  අදටත් මේ දැන්වීම පිළිබඳ මතකය අවදි වෙද්දි පුංචී සුන්දරත්වයත්  දැනෙනවා. සරුවට වැවුණු කුඹුරකට රසායනික පෝර ඉසින  ගොවි මහතෙක්ව මේ රූපවාහිනි දැන්වීමේ  පෙන්වනවා. එක පැත්තකින් පිටරට රැකියාවට ගිය මිනිස්සු  ගෙවල් දොරවල් හදන විට තවත් පසකින් රටේ කෙත්වතු සරුසාර වෙනබව කඩිනම් මහවැලිය වැනි එතෙක් අසා නොතිබුණු දැක නොතිබුණු දැවැන්ත  සංවර්ධන ව්‍යාපෘති ඉදිවෙමින් පවතින බව ඇහෙන දකින විට කිසිවෙක් විශ්වාස කළේ නැහැ  අද රට තියන තැනට  ඇද වැටෙයි  කියලා.

නමුත් ඉතා ඉක්මනින් සිහින ලෝකය බිඳ වැටිලා  සියල්ල නන්නත්තාර වී කුඹුරට ගහනවා වෙනුවට කෘමිනාශකය පානයකර ගොවියා මැරෙන තැනට පත්වෙනවා.  මේ නව ආර්ථික සමාජ රටාව  වේගවත්ව වර්ධනය වේගන එද්දි  කාගේ හෝ බෙල්ල කඩලා තමන්ගෙ වැඩේ කරගන්න ඉබේටම මිනිස්සු පෙළඹෙන තැනට පත්වෙනවා. වාසි අවාසි සිදු වෙන ආකාරය ගැන සිතා බලා අනෙකා පිළිබඳව කටයුතු කිරීමට සමාජය පරිවර්තනය වීම පිළිබඳව කතාවකුත් මේ කවි ඇතුලෙන් අපිට ගන්න පුළුවන්. පෑලිස් සිංඤො මැරුණට කමක් නැහැ අපරාදේ වස කුප්පියේ  ඉතුරු ටික බිමට හැලුණේ එක තිබුණනං මට වාසියක් ගන්න තිබ්බා.

 ළඟ ඉන්න එකා මලත් කමක් නැහැ මට වාසියක් වෙනවා නම්, බල්ලෝ මරලා හරි කමක් නෑ සල්ලි හොයන සමාජයක් නිර්මාණය වෙද්දී, රට යන අත වැරදි බව වටහා ගත් තරුණ පරපුර මීට එරෙහිව නැගී සිටිනවා. 88 89 අරගලය එහි ප්‍රතිඵලය,  රට තුළ දළු ලා වැඩෙමින් පවතින නව දේශපාලන බලහත්කාරයට සහ පීඩාවට එරෙහිව පෙරමුණ ගැනීම  ආණ්ඩුව විසින් මර්දනය කරනු ලබන්නේ ඉවක් බවක් නැතිව ජීවිත බිල්ලට ගනිමින්.

පුතු සොයා යන්නට පළමුව

පින්මද පුතුන් සියයක් විත් අවි  අතැති 
ගුණ නැණ බෙලෙන් යුතු ම පුතුව පැහැරගති  
එක පුන් සඳින් දුරු වන මුත් අඳුරු පැති 
පුතු  නැති මෙමට පුන් සඳකින් ඵලක් නැති

එදත් අදත් දරුවන් එනතුරු මග බලා සිටින දෙමව්පියන් රට තුළ සිටී. පසුගිය නොවැම්බර් 13 දා අප සමරනු ලැබූයේ 31 වන ඉල් මහ විරු සමරුව. කිරිපිටි පොවා බටර් කවා අම්මලා ව රූ රැජිණ කරන්නට පිට රට යවා වස විස ගසා රටේ ආර්ථිකය විනාශ කළ වැඩි එන  පාලනයේ පීඩනයට එරෙහිව  නැගී සිටී මිනිසුන්ව ගැහැණුන්ව මරාදැමූ ඉතිහාසයයි.

නුඹ නොමැතිව ගෙවුණු කාලය පුරාවට 
මරණය ළංව ගත දැවටෙනු  දැනුනි මට 
තුරුළුව ඉන්න සෙනෙහෙන් වලක සීතලට 
පුතුනි එන්න රන්කිරි කට ගාන්නට

ඉතින් ගෙවුණු දශක කීපය පිළිබඳව ඉන්ද්‍රානන්ද  සිල්වා සහෝදරයා ක්‍රියාකාරී දේශපාලන කවියෙකු ලෙස සාකච්ඡාවට ගත හැකි කවි පොතක් අප අතට පත්කර තිබෙනවා. ගෙවුණු දශක කීපය පිළිබඳව පමණක් නොව අදත්  අප හිරවී සිටින බහුවිධ  සමාජ දේශපාලන සංස්කෘතික අවුල් පිළිබඳවත්  මායාව සහ පීඩාවත් මේ හරහා කියවා ගත හැකියි.

වර්තමාන කවියේ හැරවුම් දෙස බලද්දී  ඉන්ද්‍රානන්ද සිල්වා සහෝදරයාගේ කවි බොහොමයක් තවමත් පැරණි රාමු ඇතුළෙම පවතින බව දැනෙන අතර  මුල්වරට ඔහුගේ කවි කියවන කෙනෙකුට  එකපාරටම දැනෙන්නේ මන්ද රසයකි. නමුත් ” සිරකරුවෝ ” හී එන  ” ලැයිමේ තනි වූ අම්මාට  ”  ” වෙනස ”  ” මනසේ ලියවුණු කවියක් ”  වැනි කවි  ඒ අවුල ලිහන්න  සමත් වෙනවා. අනාගතයේ දී ඔහුගේ  කවිය දේශපාලනික මෙන්ම නූතනත්වය ද සමග අප අතරට ඒ යැයි සිතනවා.

වෙනස

පොඩි කාලේ අපි 
මොනතරම් අඩලා ඇද්ද 
පාට පාට බැලුම් බෝල ඉල්ලලා 
ඒ බැලුම් පිපිරී ගියාම  
මතකද ඉකි ගැසූ තරම් දුක් වෙලා

ඒත් අද මේ පොඩි උන් 
කවුරුවත් අඬනවද බැලුම් බෝලයක් ඉල්ලලා

මගුල් ගෙදරට අපි එනකොට 
මේ තොරණ කොයි තරම් ලස්සනට තිබ්බද 
පාට පාට බැලුම් බෝල එල්ලලා

හැම පොඩි එකෙක්ම අඬන්නේ 
අම්මගෙන් හැට්ට කට්ටක් ඉල්ලලා 

 
 ඩෝං…පටෝස් ….ඩෝං….

පුංචි මුහුණුවල පිරෙන 
මේ ආඩම්බර හිනාවල් දකින කොට 
මටත් මතක් වෙන්නෙම 
පැය ගනන් කම්පියුටරේ ළඟ ඉඳගෙන 
තනියම හිනාවෙන පොඩි උන්….. 
 
ඩෝං…පටෝස් ….ඩෝං….

ඉලක්කය ජය ගන්න  
” චිරිස් ” ගා ලේ වැල්   විසිවෙද්දී 
වෙඩි වර්ෂා වලින් බේරී 
සතුරන් චප්ප කරගෙන 
කඳු මුදුනටම වාහන පදවන පොඩි උන්  

බැලුම් බෝල පිපිරෙන කොට ඇඬෙන 
තවමත් අපිද  මැණිකේ පොඩි උන්

හිල්මි සුපුන්

leave a reply