Breaking News

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දිගුකලක් වසා දැමීමෙන් තෙල් අර්බුදයක් – වෘත්තීය සමිති අනතුරු අඟවයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50ක් වසා දැමීමට තීරණය කිරීමත් සමඟ ඉදිරියේදී තෙල් හිඟයක් ඇතිවෙනු ඇති බවට අනතුරු අඟවා තිබේ.

බොරතෙල් ගෙන්වීම තාවකාලිකව නවත්වා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (15) සිට දින 50 ක් වසා තැබෙනු ඇති බව බලශක්ති අමාත්‍ය උයය ගම්මන්පිල පවසයි.

ණය පහසුකම් ලබාගෙන ඩොලර් හිඟය මඟහරවා ගත් වහා නැවත බොරතෙල් ගෙන්වීම අරඹා තෙල් පිරිපහදුව නැවත පණගන්වන බවත් අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

බොර තෙල්වලින් ඉන්ධන නිෂ්පාදනය කළ හැක්කේ බොර තෙල් ප‍්‍රමාණයෙන් සියයට 43 ක් පමණක් බවත් ඩොලර් හිඟයක් පවතින මේ අවස්ථාවේ බොරතෙල් වෙනුවට ඉන්ධන ගෙන්වීමට තීරණය කළේ විනිමය කළමණාකරණය කළ යුතු බැවින් යැයි ද ඇමතිවරයා පවසා ඇත.

මේ අතර පවතින තත්ත්වය කළමනාකරණය කරගත හැක්කේ ඉදිරි සති හයක පමණ කාලයකට බව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ බන්දුල සමන් කුමාර අවධාරණය කරනවා.

ඒ අනුව, ඉදිරි සති හයක පමණ කාලය තුළ පිරිපහදුවේ පවතින අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සිදුකර ගත යුතුව ඇති බවයි ඔහු පවසන්නේ.

වසර 52ක ඉතිහාසය තුළ පළමු වරට පිරිපහදුව මෙලෙස තාවකාලිකව නතර කිරීමට සිදුවීම අවාසනාවන්ත සිදුවීමක් බවත් දැනට තාවකාලිකව නතර කිරීමට සිදුව තිබෙන බොරතෙල් පිරිපහදුව මාස දෙකකට අඩු කාලයක් තුළ වැඩ ආරම්භ කළ යුතුව තිබෙන අතර එසේ නොවුණ හොත් රටට අවශ්‍ය ඉන්ධන ලබා දීමට නොහැකි වන බවත් ඔහු පෙන්වා දෙනවා.

ලෝක ආර්ථික අවපාතයත් සමඟ අපේ රටට ඇතිව තිබෙන ඩොලර් හිඟය මෙයට හේතුවක් වී ඇති බවත් පසුගිය කාලය තුළ බොරතෙල් ගෙන්වීමට දැඩි උත්සාහයක් ගත්තද අවස්ථා හයකදී – හතකදී එම ඇනවුම් නොලැබුණු බවත් ඔහු පවසනවා

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බන්දුල සමන් කුමාර,

”උපරිම සති හයයි අටයි අතර කාලයෙන් පස්සෙත් දිගටම අඛණ්ඩවම මේක නවත්වන්න සිද්ධ වුණොත් අපි පැහැදිලිවම කියනවා රටේ අවශ්‍යතාවයට ආනයනය කරලා තෙල් සපයන්න බැහැ. මොකද කොළොන්නාවට අපි තෙල් සපයන නල පද්ධතියේ ප්‍රශ්න තියෙනවා.නැව් ගෙනල්ලා අපිට හසුරුවන්න පුළුවන් කාලසීමාවක් තියෙනවා. මුතුරාජවෙල බෝයාවට,කොළඹ ජැටියට නැව් ගේන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාවත් එක්ක තමයි පිරිපහදුවෙන් නිෂ්පාදනය වෙන තෙල් ටික රට ඇතුලේ කළමනාකරණය කරගෙන අවශ්‍ය කරන තෙල් ටික රටින් ගෙනල්ලා මේ දෙක කළමනාකරණය කරලා තමයි ජනතාවට අවශ්‍ය කරන ඉන්ධන සපයන්නේ. දීර්ඝ කාලීනව පිරිපහදුව වහන්න වුණොත් අපි ආණ්ඩුව නියෝජනය කරන වෘත්තීය සමිතිය ලෙසත් කියනවා පිරිපහදුව වහන්න වුණොත් මොන ජගතෙකුටවත් ලංකාවට අවශ්‍ය කරන තෙල් ටික දීර්ඝ කාලීනව දෙන්න බැහැ.

leave a reply