ඕනෑම ගැහැණු ළමයෙකු හෝ පිරිමි ළමයෙකු ළමා වියේ සිට නව යොවුන් වියට (Adolescent age) එළඹෙත්ම ස්වභාවිකවම තම ශරීරයේ හෝමෝන ක්රියාකාරීත්වය වෙනස් වීම පටන් ගැනෙනවා. මෙම ක්රියාවලිය භාවිතයේ ‘මල්වර’ වීම (Puberty) ලෙස අප හඳුන්වනවා. මල් හට ගන්නේ ඵල නිපදවීමටයි. මෙම අවධියේදී ස්ත්රීන්ගේ ඔසප් වීම, පුරුෂයන් තුළ ශුක්රාණු පිටවීම සහ ස්ත්රී පුරුෂ ද්විතියික ලිංගික ලක්ෂණ පෙන්වීම (Secondary sexual characteristics) පටන් ගැනෙනවා. අතිශය ජීව විද්යාත්මක (Biological) සංසිද්ධියක් වන මෙය හුදෙක් ප්රජනනය (ජීවීන් බිහි කිරීම/ Procreation) සඳහා ශරීරය වෙනස් වීමක්. මෙය ජීව විද්යාත්මක වැඩිහිටිභාවය (Biological adulthood) ලෙසද හඳුන්වනවා. ජීව විද්යාත්මකව, වැඩිහිටියෙකු යනු ලිංගික පරිණතභාවයට (Sexual Maturity) පත්වූ ජීවියෙක්. නමුත් අතීතයේ ලිංගික පරිණතභාවය යන්න හුදෙක් ප්රජනනය හා පමණක් බද්ධ වුනද, ජීව විද්යාවේ දියුණුවත් සමඟ මල්වර වීම (Puberty) පමණක් ලිංගික පරිණතභාවය ලෙස සලකන්නේ නැහැ. මන්ද ප්රජනන ක්රියාවලියට තවත් ශාරීරික මෙන්ම මානසික අවශ්යතාද එයට ඇතුලත් වෙන නිසා.
අතීතයේ ලෙස නොව වර්තමානයේ එසේ වූ සැනින් දරුවන් බිහි කිරීම ඇරඹීම වර්තමානයේ ‘ජීව විද්යාත්මක වැඩිහිටිභාවය’ සිදු වුන හෙයින් සමාජයීය වැඩිහිටිභාවය (Social adulthood) ඔවුන්ට ඇතැයි සැළකෙන්නේ නැහැ. අතීතයේ එසේ සිදු වන්නට ඇත්තේ එකල පැවති පුද්ගල, සමාජයීය හා පාරසරික කාරණා මත වුවද නූතනයේ වැඩිහිටිභාවය (Adulthood) යන වචනයට අතිරේකව සමාජ හා නෛතික සංකල්ප (Social and Legal concepts) සමඟ සම්බන්ධ වූ අර්ථකතනයන් තිබෙනවා. “බාල වයස්කරුවෙකුට” වඩා වෙනස්ව, නීතිමය වැඩිහිටියෙකු යනු බහුතරයේ වයස ළඟා වූ පුද්ගලයෙක් වන අතර එබැවින් ස්වාධීන, ස්වයංපෝෂිත සහ වගකිව යුතු අයෙකු ලෙස සැලකෙනවා. නෛතික අයිතිවාසිකම් සහ රට අනුව අර්ථ දැක්වීම වෙනස් විය හැකි වුවද, නීතිමය වැඩිහිටිභාවයට පත්වීමේ සාමාන්ය වයස අවුරුදු 18 ක් වෙනවා.
මෙසේ නව යොවුන් වියේ සිට සිදුවන ජීව විද්යාත්මක ශරීර වෙනස්කම් අප වැනි සංස්කෘතියක පිරිමි ළමුන්ට එතරම් අවධානයකින් නොදෙන අතර ගැහැණු ළමුන්ට එය වෙනස් වෙනවා. ගැහැණු ළමයෙකුගේ ආර්තවය නොහොත් ඔසප් වීම, මාස් ශුද්දිධිය, දැන් භාවිතාවේ ගැනෙන ‘පීරියඩ්’ (Periods) යන ඉංග්රීසි යෙදුමෙන් හැඳින්වෙන ජීව විද්යාත්මක සංසිද්ධිය සමාජයීය, සංස්කෘතිකමය වශයෙන් සැමරීමක් පවා සිදුකරනවා. බොහෝ විට මෙම සැමරුම් හරහා අවිද්යාත්මක මිත්යා මත දැරීමක් සිදුවන අතර එතක් පටන් ගැහැණු ළමයා ආරක්ෂා කළ යුතු යැයි සංකල්පයද මතු වනවා. මෙහිදී ගැහැණු ළමයාට නීති පැනවෙන අතර පිරිමි ළමයාට සමාජයීයව පුර්ණ නිදහස ලබා දීම ඇරඹෙනවා. (උදා: ගැහැණු ළමයෙක් ගෙදට්ට කරලා හදා ගන්න ඕනේ. ගෑණු ළමයි වගේ පිරිමි ළමයි ගෙදට්ට කරලා හදන්න හොඳ නැහැ.) ස්ත්රී පුරුෂ අසමානතාව යනු කුඩා කල පටන්ම වැඩිහිටියන් විසින් ළමුන්ට උගන්වන අමානුෂික සංකල්පයක්.
නමුත් අද අප කතා කරන්නේ ස්ත්රී ජීව විද්යාත්මක වැඩිහිටිභාවයේ ද්විතීයික ලිංගික ලක්ෂණයක් වන ආර්තවය නොහොත් ඔසප් වීම හෝ මාස් ශුද්ධිය ලෙස හඳුන්වන සංසිද්ධියයි. 2014 දී ජර්මනියේ වොෂ් යුනයිටඩ් නම් රාජ්ය නොවන සංවිධානය විසින් ආරම්භ කරන ‘ඔසප් සනීපාරක්ෂක දිනය’ (Menstrual Hygiene Day / MHD) සෑම වසරකම මැයි 28 වන දින වාර්ෂිකව සමරනු ලබන්නේ ලොව පුරා කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට ප්රතිලාභ සැලසීම අරමුණු කරගෙනයි. ආර්තවය දින 5ක් දක්වා තිබෙන්නට පුළුවන් අතර පස්වන මාසය වන මැයි මාසයද, දින 28 යනු ඔසප් චක්රයේ සාමාන්ය දිග බව පිළිගැනීම නිසා 28 වන දිනය තෝරා ගෙන තිබෙනවා. අද ඔසප් සනීපාරක්ෂක දිනයයි.
ආර්තවය නොහොත් ඔසප් වීම, මාස් ශුද්ධිය යනු කුමක්ද?
කාන්තාවකගේ මාසික රුධිර වහන කාල පරිච්ඡේදය ලෙස හැදින්වෙන මෙය ගර්භණී හෝ පිළිසිඳ ගැනීමක් නොවන විට ගර්භාෂ බිත්තිය (uterus/womb) අළුතින් සෑදීමට ගැබ්ගෙලෙහි ඇති කුඩා විවරය හරහා ඔසප් රුධිරය හා ගර්භාෂ බිත්තියේ පටක ගර්භාෂයෙන් ගලා ගොස් යෝනි මාර්ගය (vagina) හරහා ශරීරයෙන් පිට වීම ඔසප් වීම ලෙස හඳුන්වනවා. මෙම ඔසප් ක්රියාවලිය ගර්භණී අවස්ථාවල සිදු නොවන අතර දින 3-5 දක්වා පවතින්නට පුළුවන්. තවද ස්ත්රීයක් ආර්තවහරණය/ඔසප්වීම නැවත්වීම (menopause) දක්වා මෙම ක්රියාවලිය සිදුවෙනවා. නමුත් විවිධ ජීව විද්යාත්මක හේතු මත මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නට පුළුවන්.
ගර්භාෂය ආවරණය කිරීම සඳහා ගර්භාෂ බිත්තිය සෑදී තිබෙනවා. ගැබ් නොගන්නේ නම්, කාන්තාවක තුළ ඊස්ට්රජන් හා ප්රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම (Estrogen and Progesterone hormone) පහත වැටීමට පටන් ගන්නවා. ඉතා අඩු ඊස්ට්රජන් හා ප්රොජෙස්ටරෝන් මට්ටම කාන්තාවකගේ ශරීරයේ ඔසප් වීම ආරම්භ කරනවා.
ඔසප් චක්රය යනු කුමක්ද?
ඔසප් චක්රය යනු ගර්භණීභාවය සඳහා සූදානම් වීම සඳහා ස්ත්රියකගේ ශරීරය හරහා යන මාසික හෝමෝන චක්රයයි. ඔසප් කාල පරිච්ඡේදය ඔසප් වීමට පටන් ගත් පළමු දින සිට ඊළඟ කාල පරිච්ඡේදයේ පළමු දිනය දක්වා ගණනය කෙරෙනවා. මෙයද සාමාන්යයෙන් දින 28ක් වන අතර එය ජීවවිද්යාත්මකව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නට පුළුවන්. හෝමෝන මට්ටම (ඊස්ට්රජන් හා ප්රොජෙස්ටරෝන්) සාමාන්යයෙන් ඔසප් චක්රය පුරා වෙනස් වන අතර රුධිරය පිටවීම හැර ඔසප් වීම පහත අතුරු ආබාධ ඇති කරනවා.
උදර හෝ ශ්රෝණි කැක්කුම හා වේදනාව
කොන්දේ අමාරුව
පියයුරු ඉදිමීම සහ වේදනාව
ආහාර අභිරුචිය (Food cravings)
මනෝභාවය වෙනස් වීම සහ නුරුස්නා ගතිය (කේන්ති යෑම වැනි)
හිසරදය සහ තෙහෙට්ටුව
පාචනය
මෙම හේතු නිසාම ස්ත්රීයකගේ සෞඛ්ය යහපැවැත්ම වෙනුවෙන් ඔසප් සනීපාරක්ෂාව ඉතා වැදගත් වෙනවා. එය ඇය ජීව විද්යාත්මකව ස්ත්රීයක් වීම හේතු කොට ඇති වන්නක් නිසා එය නොසළකා හරින්නට බැහැ. එය ස්ත්රීන්ගේ අයිතියක්ද වෙනවා. සෞඛ්ය ප්රවේශ හා සෞඛ්ය පහසුකම් දියුණු මට්ටමක ඇති රටවල මේ පිලිබඳ වැඩි අවධානයක් යොමු කරන අතර එම පහසුකම් නොමිලේ ලබා දීමටද ඇතැම් රටවල් ක්රියා කරනවා. සම්පුර්ණ ස්වභාවික සංසිද්ධියක් වන මෙය ස්ත්රීන්ට සිදුවන ජීව විද්යාත්මක කාරණාවක් වුනද, එය පුරුෂයන්ද දැන ගත යුත්තේ පවුලේ, සමාජයේ, රටෙහි, ලෝකයේ ජීවත් වන්නේ පුරුෂයන් පමණක් නොවන නිසයි. ස්ත්රීයකට බලපාන කරුණු පුරුෂයාටද වක්රාකාරව වැදගත් වන අතර අනෙක් පසටද එය එසේම වෙනවා.
සමාජයක් යනු පුද්ගලයන් එකිනෙකට බද්ධ අන්තර් පුද්ගලික සම්බන්ධතා ගොඩ නැගෙන පරිසරයක්. එනිසා පුරුෂයන්ට ඔසප් වීම සිදු නොවන නිසා එය වැදගත් නොවන කාරණාවක් ලෙස හුවා යුක්ති සහගත නැහැ. තවද ඔසප් සනීපාරක්ෂාව නොමැති විට එය පුද්ගලික, සමාජයීය, ආර්ථික සහ පාරසරික ගැටළු ඇති කරනවා. එම නිසා සනීපාරක්ෂක තුවා, කොපු හෝ වර්තමානය වන විට කෝප්ප ලබා දීමේ සිට ශාරීරික හා මානසික යහපැවැත්ම පිලිබඳ අවධානය යොමු කිරීම රජයකද වගකීමක්. විශේෂයෙන් ආර්ථික අපහසුතා පවතින පවුල්වලට මෙය සැඟවුන විශාල ගැටළුවක් වෙනවා.
අවිද්යාත්මක මිත්යා මත නිසාම බොහෝ පුරුෂ පාර්ශවය මෙම ජීව විද්යාත්මක සංසිද්ධිය විහිළුවක්, අපහාස කිරීමක්, අවමානයට ලක් කිරීමක්, කුණුහරුපයක් ලෙස සළකනවා. විශේෂයෙන්ම ආගම් මුල්කොට ගෙන පවතින මිත්යා මත නිසා. ඔසප් වීම ඇති ස්ත්රීයක් කිළුටු, අපවිත්ර, පවුකාර ලෙස හැඳින්වීම බරපතල සමාජ මිත්යාවක්. මෙයට ප්රධාන හේතුව වනුයේ මාස් ශුද්ධිය යනු ස්ත්රීන්ගේ තිබෙන අපිරිසිදු රුධිරය ‘සුද්ද වීමක්’ ලෙසට අදටද මිනිසුන් විශ්වාස කරන නිසා. එහෙත් ඔසප් සනීපාරක්ෂාව නොතිබුණ යුගයක රුධිරය වහනය වීම සෞඛ්ය ගැටළුවලට මෙන්ම සමාජ ගැටළුවලට බලපාන්නට වූවා වෙන්නට පුළුවන්. එහෙත් පෙර සඳහන් කළ ලෙස ස්ත්රීයකට ඔසප්වීමදී සිදුවන්නේ වෙනම ජීව විද්යාත්මකව ක්රියාවක්. ගර්භාෂය යනු ශරීරයේ ලේ පිරිසිදු කරන අවයවයක් නොවේ. එබැවින් ‘අපවිත්ර බව’ මුලික කරගෙන සියවස් ගණනක සිට පවතින මෙම සමාජයීය, ආගමික හා සමාජයීය මිත්යා මත මනුෂ්යත්වයේ නාමයෙන් බැහැර කිරීමට කාලය එළැඹ තිබෙනවා. සනීපාරක්ෂාව, සෞඛ්ය , තාක්ෂණික දියුණුව ඇති යුගයක එම මිත්යා මත හෝ ප්රයෝගික ගැටළු තවදුරටත් ප්රශ්නයක් වන්නේ නැහැ. අප ජීවත් වන්නේ දැනුම මුලික කොට ගත් සමාජයක මිස මිත්යාව අදහන සමාජයක නොවේ. අප අධ්යාපනය පද්ධතිය තුළවත් නිසි ලෙස ලබා නොදෙන නමුත් ඉතා වැදගත් ඔසප් සනීපාරක්ෂාව පිලිබඳ දැනුවත්භාවය බෙදා හදා ගැනීම ශිෂ්ට සමාජයක් ඇති කිරීමට අප සියලු දෙනාටම වැදගත් වෙනවා.
දේදුනු සංවාද
2020 මැයි 28