Breaking News

හර්ෂ ඉලුක්පිටිය හරි – එතකොට ටිරාන්?

විද්‍යුත් වීසා ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමට රජය ගෙන තිබූ තීරණය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය අගෝස්තු දෙවැනිදා නිකුත් කළ අතුරු තහනම් නියෝගය අනුව කටයුතු නොකිරීම හේතුවෙන් ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා නියෝග කරන ලදී. මේ පිලිබන අදහස් දක්වන පිරිස් පවසන්නේ ආගමන විගමන පාලකවරයා අත්අඩංගුවට ගත්තද ඔහුට නියෝග ලබාදුන් හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් අත්අඩංගුවට නොගැනීම ගැටළු සහගත බවයි.

ඊ වීසා මඟඩිය අත්හිටුවන්න යැයි ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට චෝදනා එල්ලවෙන අතර ඔහු මෙම නියෝග නොතකා ක්‍රියාකිරීම හරහා අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී ඇත.

මෙම නඩු විභාගය ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ නැවත එලබෙන ජනවාරි 22 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.

ටිරාන් අලස් අමාත්‍යවරයාගේ ඊ වීසා බලපත්‍ර මඟඩිය සඳහා අනුමැතිය ලබා දීමේ කැබිනට් තීරණයට එරෙහිව එම්.ඒ. සුමන්තිරන්, පාඨලී චම්පික රණවක හා රාවුෆ් හකීම් යන මන්ත්‍රීවරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වෙන් වෙන් ව පෙත්සම් ගොනු කළ අතර එම පෙත්සම් විභාගයට ගනිමින් අධිකරණය මෙම ඊ වීසා මෙහෙයුම් කටයුතු නතර කරන ලෙස නියෝග නිකුත් කරනු ලැබීය.

කිසිදු විනිවිදභාවයකින් තොර මෙම ගනුදෙනුවේ දැනට අනාවරණය වී ඇති කරුණු අනුව බලනවිට පෙනීයන්නේ ටිරාන් අලස්ගේ මැදිහත්වීමෙන් මෙම විශාලතම මූල්‍ය වංචාව සිදුව ඇති බවය.

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් 2023 සැප්තැම්බර් 08 දිනැති කැබිනට් පත්‍රිකාවක් (කැබිනට් පත්‍රිකා අංක 38/2023) 2023 සැප්තැස්මර් 11 වැනිදා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරමින් IVS-GBS Global Services නම් ආයතනයක් ‘E-Visa, Consular Services, Visa Services, Bio Metric Services and Tourism Promotion’ මැයෙන් ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කළ බව දැනුම් දී තිබුණි. එම ව්‍යාපෘති යෝජනාව ඇමුණුම 01 ලෙස සඳහන් කරමින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ ටිරාන් අලස් IVS-GBS Global Services විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ව්‍යාපෘති යෝජනාව ඇගයීමක් කිරීම සඳහා සුදුසු ඇගයීම් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැති ඉල්ලා ඇත. එසේම එම ඇගයීම් කමිටුවේ නිර්දේශ සහ අදාල ආයතනය සමග අත්සන් කිරීමට යන ගිවිසුම සඳහා නීතිපතිගේ නිශ්කාශන වාර්තාවක් ලබා ගැනීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැණිනි.

මෙම යෝජනාව සහ කැබිනට් තීරණය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡාවේදී හෙලිදරව් නොවුණු අතර ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනමාධ්‍ය ආයතන වෙත ලබා දෙන අමාත්‍ය මණ්ඩල තීරණ සංක්ෂිප්ත ලැයිස්තුවේ ද මෙම ව්‍යාපෘතිය ගැන සඳහන් නොවුණි.

මේ සමාගම සඳහා අනුමැතිය ලැබෙන්නේ නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරවයි.

leave a reply