Breaking News

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් දෙවැනි වරටත් මුදල් කාරක සභාව මග ඇරලා

මෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා ඔන්ලයින් වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කමිටුව හමුවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණෙන බවට සඳහන් කර පසුව නොපැමිණීම පාර්ලිමේන්තුවේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

ඒ අනුව මේ පිළිබඳ සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස කථානායකවරයාට පවසන බව අද (22දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් හෙතෙම සඳහන් කළේය.

“අපි කතා කරලා තිබුණා සාකච්ඡාවක්. ඒක පළවෙනි දවසේ කරගන්න බැරි වුණු නිසා දෙවැනි දිනයටත් කැඳවනු ලබුවා. එහිදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමාට අපි දවස් කිහිපයක් යෝජනා කළා. ඔහු සමග එකඟ වෙලා තමයි අපි දිනය තීරණය කළේ. දැන් මේක තිබුණේ පසුගිය 14 වැනිදා. ඊට කලින් දවසේ පාර්ලිමේන්තුව ඉවරවුනාට පස්සේ හවස 6.15ට ලියුමක් එවනවා එන්න බෑ කියලා. ඒත් එනවා කියලා කලින් ලියුම එවලා තිබුණා. ඊට පස්සේ මගෙන් අහලා තිබුණා භාරගන්න පුළුවන්ද කියලා.

අපි පිළිගත්තේ එතුමා ඉදිරිපත් කළ දිනය. ඒ අනුව එන්න අවශ්‍යයි කියලා අපි කිව්වා. ඊට පස්සේ 14 වැනිදා මේ කිසි කෙනෙක් ආවේ නෑ. ඒක පාර්ලිමේන්තු වරප්‍රසාද ගැන ලොකු ගැටලුවක්. අනිත් එක සාකච්ඡා කරලා දින දාගත්තේ අපිට ඕනී දින නෙවෙයි. ඒ දිනය දා ගත්තේ ලේකම්වරයාට ඕනී දිනය. අපි අද විපක්ෂයේ වෙන්න පුළුවන්. ඔයාලා හෙට විපක්ෂයේ වෙන්න පුළුවන්. මේක පාර්ලිමේන්තුවේම වරප්‍රසාද උල්ලංඝණය කිරීමක් ලෙස අපි දකිනවා. ඒ නිසා මේ කාරණාව මම අද කථානායකතුමාට සඳහන් කරනවා. ගතයුතු ක්‍රියාමාර්ගයක් ඔබතුමා ගන්න කියලා යෝජනා කරනවා.”

leave a reply