Breaking News

මාධ්‍ය තරඟ කරන්නෙත් මුදල් හොයන්න නම් එතන සදාචාරය ඉතුරු වෙන්නේ නෑ

ප්‍රවීන මාධ්‍යවේදී චන්දන සිරිමල්වත්ත

රට තුළ හදිසි තත්ත්වයක්,ස්වභාවික ව්‍යසනයක් වැනි සමාජය කලඹන තත්ත්වයන් තුළ ,මෑත කාලීනව අපට පුරුද්දක් ලෙස මාධ්‍ය සදාචාරය පිළිබඳව කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා .ධනවාදය විසින් පනවාගෙන ඇති අවම මාධ්‍ය සදාචාර නීති රීති පවා විශේෂයෙන්ම ලංකාවේ විද්‍යුත් මාධ්‍ය නග්න ලෙස උල්ලංඝනය කරනවා . මේ ජඩ මාධ්‍ය කරණයට එරෙහිව සමාජය තුළ විරෝධය පැන නගිනවා .

මේ  මාධ්‍ය භාවිතාව පිළිබඳව විවර අපි සමාජයේ විවිධ තරාතිරම් නියෝජනය කරන කිහිප දෙනෙකුගෙන් අදහස් විමසනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සිරිමල්වත්ත දරන අදහස.


පසුගිය දිනවල කොරෝනා ආසාදිතයන් සම්බන්ධ උණුසුම් පුවත් වාර්තා කරන්න මාධ්‍ය වාර්තාකරුවන් කරපු උත්සාහය තුළ ආසාදිතයන්ගෙ සහ පවුලේ අයගේ පෞද්ගලිකත්වය අමු අමුවේ උල්ලංඝනය කිරීම් සිදු වුණා. විශේෂයෙන්ම ආසාදිත කාන්තාවන්  පසුපස හඹා යමින් සරසවි ශිෂ්‍යාවන් වීඩියෝ කරමින් ඔවුන්ගේ දර්ශන කැමරාවට හසුකර ගැනීම් ටෙලිවිෂන් චැනල්වල ප්‍රචාරය කෙරුණා. මේ සමබන්ධයෙන් අදහස් පළකරපු සමහර මිත්‍රයෝ කිව්වෙ මේ නරුම වාර්තාකරුවන්ට පහර දෙන්න කියලා. එහෙම දැඩි ලෙස ප්‍රතිචාර දක්වන්න කියලා ඔවුන් කිව්වෙ සාමාන්‍ය ජනතාව ඒ විධයට කටයුතු නොකළොත් විශාල ලෙස සදාචාර විරෝධී මාධ්‍ය ක්‍රියාදාමයක් කිසිදු ගැටලුවකින් තොරව පවත්වාගෙන යන්න හැකි වෙන නිසයි. නමුත් මේ ක්‍රියාදාමයේ එක පැත්තක් විතරයි අපි දකින්නෙ. මේ වාර්තාකරුවන් කියන්නෙත් යම් කිසි ආකාරයකට එදා වේල හොයාගන්න වෙහෙස වෙන ශ්‍රමිකයන් පිරිසක්.

විශේෂයෙන් සාමාන්‍ය කාලයක වගේ නෙවෙයි. ඒ අයට ප්‍රවෘත්ති විකාශයක ප්‍රචාරය කරන්න මිනිත්තු කීපයක හරි වීඩියෝ කට් එකක් හොයාගන්න වෙන්නෙම කොරෝනා සම්බන්ධ දෙයක් වුණොත් විතරයි. මේ දවස්වල කොරෝනා පුවත්වලට හොඳ ඉඩක් මාධ්‍ය ආයතනවලින් ලැබෙනවා. වෙනත් සාමාන්‍ය පුවතක් ප්‍රචාරය නොවෙන්න තියෙන ඉඩ වැඩියි.

ඉතින් මහන්සි වෙලා දුරක් ගිහිල්ලා පාරක තාර දාලා නෑල විදුලි බලය දෙනවා කිව්වට දීලා නෑ, වගා පාලු වෙලා රැකියා විරහිතයො හරි වෙනත් ආයතනයක සේවකයන් හරි විරෝධතා දක්වනවා වගේ සාමාන්‍යෙයන් එදිනෙදා දක්නට ලැබෙන කාරණයක් වාර්තා කරන්න බෑ. ඒවා ප්‍රචාරය වෙන්නෙ නැති නම් වාර්තාකරුවාට ආදායමක් ලැබෙන්නෙ නෑ. අමාරුවෙන් මිනිත්තු කීපයක කෑල්ලකට රුපියල් දාහක් දෙදාහක් හොයාගන්න තමයි මේ වාර්තාකරුවන් අර විදියට කොරෝනා ආසාදිතයෙක් හරි ඒ ගැන හෝඩුවාවක් හරි හමු වුණාම පස්සෙන් දුවන්නෙ. ඔවුන්ට දෛනිකව යවන පුවතකින් ලැබෙන මුදලක් මිස දීමනාවක් හෝ ස්ථිර ආදායමක් චැනල්වලින් ලැබෙන්නෙ නෑ. විශ්‍රම වැටුපක් හෝ EPF වැනි සේවක අරමුදලක වාසියක් ඒ අයට නෑ.

ඉතින් එහෙමයි කියලා මේ වගේ පස්සෙන් ගිහින් මිනිස්සුන්ගෙ මූණවල් පෙන්වන එක ගෙවල්වල දර්ශන ප්‍රචාරය කරන එක හොඳද? කියලා ඔබ අහයි. ඒවා ප්‍රචාරය කිරීම කරන්නෙ මාධ්‍ය ආයතනවලින් පුද්ගලිකත්වය උලුප්පලා ප්‍රවෘත්ති මවන්නෙ ටෙලි නාට්‍ය වගේ පුද්ගලික දේවල්, කුණු අවුස්සන්නෙ චැනල්වල ප්‍රධානීන්ට ඒවා විකුණාගෙන කන්න අවශ්‍ය නිසා. වඩා වැඩියෙන් කුණු රස විඳින ජනතාවක් අතරින් වැඩිම අවධානයක් ලබාගන්න ටෙලිවිෂන් එෆ් එම් ආයතන පොරකනවා. ප්‍රාග්ධනය යෙදවීමෙන් වැඩිම ජනප්‍රිය චැනලය වුණාම වැඩිම මිලකට දැන්වීම් ප්‍රචාරය කිරීමට හැකිවන රේට්න්ග් ඉහළ යනවා. මේක තමයි මාධ්‍ය වාර්තාකරුවන් ආදායම් හොයාගන්න පාවිච්චි කරන පාර.

ඔව් අපි ඒ වැරදි විවචෙනය කරමු. වඩා යහපත් මාධ්‍ය භාවිතයක් වෙනුවෙන් හඬ නගමු. ඒ පාරෙ යන එක වැරදියි කියලා අපි කිව්වට වාර්තාකරුවන්ට මාධ්‍ය ආයතනවල සේවකයන්ට ජීවත් වෙන්න තියෙන ප්‍රවාහය ඒක. ඒ ප්‍රවාහයට විරුද්ධව වැඩ කරන්න උඩුගං බලා යන්න බෑ. ඒක නිසා මාධ්‍යවේදීන් පහර දෙන්න කියද්දි අම්මා මතක් කරලා බනිද්දි හිතන්න ඕන පැත්තකුත් තියනවා.

මේ පවතින නරුම සමාජ ආර්ථික ක්‍රමයේ බල්ලො මරලා හරි සල්ලි හොයන්න ක්‍රම තියෙනවා. ඒවා කරන්නෙ නැත්නම් එක්කො මංකොල්ල කන්න හොර ජාවාරම් කරන්න තමයි තියෙන්නෙ. දේශපාලකයො ඔවුන් හා හවුල්කාර ව්‍යාපාරිකයො ලක්ෂ ගණනින් කෝටි ගණනින් ලාභ උපයන වංචා දූෂණ මහා කැත ජාවාරම් කරනවා. එහෙමත් නැත්නම් මහජන ධනය මංකොල්ල කනවා. එදා වේල කන්න මාධ්‍යෙව්දීන් වෙනත් ආයතනයක සේවකයන් කරන පුංචි කැත වැඩ පොඩි හොරකම්වලට ඒ හා සමාන කරන්න බෑ. මාධ්‍ය වාර්තාකරුවන්ගෙ වැරදි වගේම ඊට සිය ගුණයක් බරපතළ මාධ්‍ය ව්‍යාපාරිකයන්ගෙ ගේම් විවචෙනය කරන්න ඕනා. නමුත් විවචෙනය කරනවා නම් ඒ වැරදි නිවැරදි කරන්න පාරකුත් ඕනා.  නිසැකවම ඒ පාර තියෙන්නෙ ප්‍රවාහයට විරුද්ධව. මේ සමාජ ආර්ථික ක්‍රමය වෙනස් කිරීමේ උඩුගං බලා යන පැත්තකින් තමයි අපේ විවචෙනය හා නිවැරදි කිරීමේ මාවත වැටී තියෙන්නෙ.

 

leave a reply