Breaking News

ජාතික සභාව – සර්ව පාක්ෂික අටමගලෙන් පසු බලය රැකගැනීමේ අලුත්ම ගැටය

රනිල් වික්‍රමසිංහ 134 දෙනෙකුගේ ඡන්දයෙන් ජනාධිපති වී සර්ව පාක්ෂික වැඩසටහනක් සඳහා ඔහු ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගය ප්‍රමුඛ සියලු පක්ෂවලට විවෘත ආරාධනයක් කරන ලදී. නමුත් එය සාර්ථක වූ බවක් දක්නට නොලැබුණි. දැන් ඒ වෙනුවට ජාතික සියලු පක්ෂවල නියෝජිතත්වයෙන් ජාතික සභාවක් නිර්මාණය කිරීමට සුදානම් වේ. අද (23) පාර්ලිමේන්තුව නියෝජනය කරන විවිධ දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ‘ජාතික සභාව’ සඳහා දැනට නම් ලබාදී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලේඛනය කතානායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.

ජාතික සභාව නියෝජනය කිරීමට මෙසේ පත් කරනු ලැබ සිටින්නේ ඩග්ලස් දේවානන්දා, නසීර් අහමඩ්, ටිරාන් අලස්, සිසිර ජයකොඩි, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රවුෆ් හකීම්, පවිත්‍රාදේවී වන්නිආරච්චි, වජිර අබේවර්ධන, ඒ.එල්.එම්. අතාවුල්ලා, මහාචාර්ය තිස්ස විතාරණ, රිසාඩ් බදියුදීන්, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, පලනි දිගම්බරම්, මනෝ ගනේෂන්, උදය ගම්මන්පිල, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, ජීවන් තොණ්ඩමන්, ජී.ජී. පොන්නම්බලම්, අතුරලියේ රතන හිමි, අසංක නවරත්න, අලි සබ්‍රි, සී.වී. විග්නේෂ්වරම්, වීරසුමන වීරසිංහ, සාගර කාරියවසම් යන මන්ත්‍රීවරු 27 දෙනා වෙති.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත් පිරිසකගේ නම් ලැබිය යුතු හෙයින් එම නම් ලැබුණු පසු ඒවා ඉදිරි දිනවල ප්‍රකාශයට පත් කරන බව ද කතානායකවරයා මෙහිදී සඳහන් කර ඇත.

මේ අතර ජාතික සභාව පිළිබද පිළිබඳ යෝජනාවට සංශෝධනයක් ඉදිරිපත් කරමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග පැවසුවේ කතානායකවරයා සභාපති වූද, අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විරුද්ධ පක්ෂයේ නායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා, විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ මෙරට පිළිගත් දේශපාලන පක්ෂවලින් නම් කෙරෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 35කට නොවැඩි සංඛ්‍යාවකින් ජාතික සභාව සමන්විත විය යුතු බවයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු ජාතික සභාව යෝජනාව ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී පසුගිය 20 වෙනිදා පස්වරුවේ සම්මත විය.

කෙටි, මධ්‍යම, සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාව ඇතිකර ගැනීම ජාතික සභාව පිහිටුවීමේ ප්‍රධාන අරමුණ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසීය.

අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් විශේෂ කාරක සභාවල සභාපතිවරුන් සහ යොවුන් සංවිධානවල යොවුන් නිරික්ෂකයන් සහභාගීවන විශේෂ රැස්වීම් වෙනුවෙන් අවශ්‍ය කටයුතු සංවිධානය කිරීමද මෙම ජාතික සභාවට පැවරෙන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන ලදී.

ආංශික අධීක්ෂණ කාරක සභා, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රජයේ මුදල් පාලනය සිදු කරන කවර හෝ කාරක සභාවක් වෙතින් වාර්තා කැදවීමේ බලයද ජාතික සභාවට හිමිවන බව දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් පැවසීය.

ජාතික සභාවක් පිහිටුවීමේ අරමුණ වී තිබෙන්නේද සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදීමෙන් අපේක්ෂා කළ ආකාරයෙන් ම ආණ්ඩුවේ දුර්වල වී ඇති බලය රැකගැනීම වී තිබේ. එසේම ජනතාව විසින් විශේෂයෙන් ප්‍රතික්ෂේප කරන ලද නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් වැනි පුද්ගලයන් ද ජාතික සභාවට රිංගවා තිබේ. පෙනෙන්නට තිබෙන ආකාරයට ආණ්ඩුව කුමන හෝ ගේමක් ගසා තම බලය රැකගැනීම වෙනුවෙන් විවිධ අටමගල් අටවාගෙන ජනතාව මත බර පැටවීම වේගවත් කරනු ඇත්තේ. ආණ්ඩුවේ ඊළඟ පියවර වනු ඇත්තේ ජාතික සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ටත් විවිධ ඇමති ධූර ලබාදීමයි.

leave a reply