Breaking News

මොණරාගල රැඳවියා ඝාතනය කරලා තියෙන්නෙ පෞද්ගලික කෝන්තරයකට – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

මොණරාගල බන්ධාගාරයේදී මිය ගිය රැඳවියා ඝාතනය කරන ලද්දේ පෞද්ගලික කෝන්තරයක් මත බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කැඳවුම්කරු සුදේශ් නන්දිමාල් පවසයි. බන්ධාගාර ජේලර්වරයෙක් සහ නියාමකවරයෙක් එකතුවී මෙම පුද්ගලයාට පහරදී ඝාතනය සිදුකර ඇති බව ද ඔහු පවසයි.

ඊයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් සුදේශ් නන්දිමාල් මේබව පවසා තිබේ.

” බන්ධනාගාර ඉතිහාසයේ මේක අලුත් දෙයක් නෙමෙයි. 2012 වසරේ වැලිකඩ බන්ධන්ගාරයේදී ඝාතනය කළා. පසුගිය කොරෝනා කාලෙ අනුරාධපුර බන්ධනාගාරේ රැඳවියෝ දෙදෙනෙකුට වෙඩි තියලා ඝාතනය කරා. ඊට පස්සෙ මහර බන්ධන්ගාරයේදී අමානුෂික ලෙස පහරදීලා තවත් රැඳවියෙක් ඝාතනය කරනවා. නමුත් අද බන්ධාගාර කොමසාරිස්වරයා මේ ඝාතන අනුමත කරනවා. මේ ඝාතන සිදුකරන නිලධාරීන්ට විරුද්ධව කිසිදු පියවරක් ගන්නෙ නැහැ. මුලින්ම මේගොල්ලෝ බන්ධාගාර රැඳවියෝ අපරාධ කරනවා කියලා සමාජ මතයක් ගොඩ නගනවා. එහෙම කරන්නෙ එළියේ ඉන්න ලොකු එවුන් කරන අපරාධ වහන්න.”

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පසුගිය 3වනදා මිය ගිය රැඳවියා සිටි සිරමැදිරිය විවෘත කිරීම සඳහා බන්ධාගාර නියාමකවරයෙක් එම ස්ථානයට ගිය අවස්ථාවේ සිරමැදිරිය විවෘත කිරීමට ප්‍රමාදවී ඇතැයි පවසා ඇති අතර පසුව දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීමකින් අනතුරුව රැඳවියා නියාමකවරයාගේ අතකට ගලකින් පහරදී තුවාල කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණි.
සැකකරුවාගේ පහරදීම හේතුවෙන් නියාමකවරයාගේ අතක් කැඩී බිඳීගොස් ඇති බවත් ඔහුද ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම සිද්ධියෙන් පසුව එම ස්ථානයට පැමිණි වෙනත් නියාමකවරුන් දෙදෙනකු එම රැඳවියාට පහරදී ඇති බවත් පසුව මොනරාගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණි.

 

leave a reply