Breaking News

නීතිපති සේවා දිගුව සාධාරණීයකරණය කිරීමට රනිල්ගෙන් බොරු වැලක්

වර්තමාන නීතිපති සංජය රාජරත්නට සේවා දිගුවක් දීමට තීන්දු කළේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ වලට අදාලව ඉදිරි කටයුතු රදගුරු මණ්ඩලය සමඟ සම්බන්ධීකරණය කිරීමේ කමිටුවේ නියෝජිතයකු ලෙස ඔහු ප්‍රධාන කාර්ය භාරයක් කරන බැවින් යැයි රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත.

රනිල් මේ බව ප්‍රකාශ කර ඇත්තේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් බ්‍රහස්පතින්දා (30) ජනපති හමුවී මේ සමබන්ධයෙන් විමසූ අවස්ථාවේදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, ප්‍රේමනාත් සී දොලවත්ත ඇතුළු පිරිසක් මේ ගැන ජනපතිගෙන් විමසා තිබුණේ විපක්ෂය නඟන චෝදනාවත් සමඟය.

පාස්කු ප්‍රහාරයෙන් පසු පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ශ්‍රී ලංකා කතෝලික රදගරු මණ්ඩලයේ සභාපති හැරල්ඩ් ඇන්තනි පෙරේරා, කුරුණෑගල රදගරුතුමන්ට යොමු කොට ඒ ගැන සාකච්ඡා කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක, කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හා නීතිපති සංජය රාජරත්නම් පත් කළ බව රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරුන් හමුවේ කියා ඇත.

මේ කමිටු සාමාජික නීතිපති සංජය රාජරත්නම් දිගින් දිගටම රදගුරු මණ්ඩලය සමඟ සාකච්ඡා පවත්වමින් සිටින නිසා එම සාකච්ඡා අවසන් වන තුරු ඔහුගේ සේවය දීර්ඝ කිරීමට තීරණය කළ බව ජනපති සඳහන් කර තිබේ.

අලුත් නීතිපතිවරයකු පත් කළ හොත් ඔහුට මේ කටයුතු අධ්‍යයනය කරන්නට තවත් කාලයක් ගත වන බැවින් නීතිපති සේවා කාලය දීර්ඝ කරන්නට තීන්දු කළ බව පවසා ඇති ජනපතිවරයා, කාට හෝ ඒ ගැන ගැටළුවක් තිබේ නම් ඒ කාරණය රදගුරු මණ්ඩලයෙන් විමසා දැනගත හැකි බවද පවසා ඇත.

විශ්‍රාම යාමට නියමිත නීතිපතිට සේවා දිගුවක් ලබාදීමෙන් ජනාධිපතිවරයා සිදුකරන්නේ භයානක පුර්වාදර්ශයක් බවට ඇතැම් නීති විශාරදයින් අනතුරු අඟවා ඇත.

ජනාධිපති නීතිපතිගේ ධුරකාලය දීර්ඝ කිරීමට සුදානම් වන්නේ, ඔහුව අගවිනිසුරු කිරීමේ අරමුණින් බවද ඇතැම් නීති විශාරදයින් පවසති.

වර්තමාන නීතිපති සංජය රාජරත්නම්ගේ ධුර කාලය මේ වසරේ දෙසැම්බර් අවසානය දක්වා දීර්ඝ කිරීම සඳහා අවශ්‍ය ඉල්ලීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යවා ඇතැයි දැනගන්නට තිබේ.

නීතිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට නියමිතව තිබෙන්නේ එළඹෙන ජුනි 27 වැනිදාය.

අගවිනිසුරු ජයන්ත වීරසූරිය විශ්‍රාම ලබන්නට නියමිතව ඇත්තේ මේ වසරේ දෙසැම්බර් මාසයේදීය.

leave a reply