Breaking News

වැඩිමිලට වෙඩි බෙහෙත් ආනයනය කිරීමට ‘රාජපක්ෂ’ සමාගමට අවසර

කළුගල් කර්මාන්තය සඳහා අවශ්‍ය ඇමෝනියම් නයිට්‍රේට් නැතිනම් වෙඩි බෙහෙත් ගෙන්වීමට ආයතන කිහිපයකට තිබූ අවස්ථාව එක් ආයතනයකට පමණක් ලබාදීම නිසා ඒකාධිකාරයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පසුගියදා( 30 ) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කලේ මේ වසරේ සැප්තැම්බර් මස 22වනදා ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කරන ලද ලිපියකින් කෝස්මික් ටෙක්නොලොජීස් යන සමාගමට පමණක් ඇමෝනියම් නයිට්‍රේට් මෙට්‍රික් ටොන් 1000ක් ආනයනය කිරීම සඳහා අනුමැතිය ලබාදී ඇති බවයි.

මේ සඳහා ටෙන්ඩර් කැඳවීමක් හෝ සිදුව නැති බව පුබුදු ජයගොඩ පවසයි. එසේම එම සමාගමට අධික ලාභයක් උපයා ගත හැකි පරිදි ඇමෝනියම් නයිට්‍රේට් සඳහා මිලක් නියම කිරීමට ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා කටයුතු කර තිබේ. මෙවැනි මැදිහත්වීමක් සිදුකිරීමට හේතුව මෙය රාජපක්ෂවරුන්ගේ සමාගමක් වීමද යන සැකය මතුව තිබේ. කොස්මික් ටෙක්නොලොජීස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ කළමනාකරණ කණ්ඩායමේ රාජපක්ෂ වාසගම සහිත පුද්ගලයන් සිටීම මෙයට හේතුවයි.

ඇමෝනියම් නයිට්‍රේට් කිලෝ ග්‍රෑම් එකක් ආනයනයට 981.52ක් වැයවෙන බව අදාළ සමාගම සඳහන් කර තිබුණත් ලෝක වෙලඳපොලේ මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 575ක් පමණ වන හෙයින් කිලෝ ග්‍රෑම් 01 ක් රු 200ක් පමණ වේ. නැව් ගාස්තු වැනි ආනයනයට වැයවෙන අනෙකුත් ගාස්තු එකතු කළද මෙය අධික මුදලකි. මේ වසරේ මුල නයිට්‍රේට් කිලෝ ග්‍රෑම් එකක මිල රු 232ක අගයක පැවති තිබුණි.

මෙම කාරණය හෙළිදරව් වූ පසු සැප්තැම්බර් 28 දිනය යොදමින් කමල් ගුණරත්න විසින් ඇමෝනියම් නයිට්‍රේට් අලෙවි කිරීමට අදාළ උපරිම සිල්ලර මිල ලෙස 1926.17 ක් ලෙස නියම කර ඇතැයි පුබුදු ජයගොඩ පවසයි . මෙය වසරක් ඇතුළත සාපේක්ෂ වශයෙන් උපරිම සිල්ලර මිල දස ගුණයකින් පමණ වැඩි කිරිමකි.

මෙම මිල වැඩිකිරීම ගල් කර්මාන්තය සමඟ බැඳී ඇති සියලු දේවල් සඳහා බලපාන බව පුබුදු ජයගොඩ වැඩි දුරටත් පැවසීය.

 

 

 

 

leave a reply