“සිංදු ඇහෙන කවි පොතක්” ප්‍රියන්ත කොඩිප්පිලිගේ සිව්වැනි කවි එකතුවයි. පුරෝගාමී මාධ්‍යයන්ගෙන් ආරම්භය ගෙන නව මාධ්‍ය යුගයේ කවියේ වෙනස් ඉමක් සටහන් කළ නූතන කවියෙකු ලෙස ඔහු හැඳින්විය හැකිය.
කවිය සහ වෙනත් කලා මාධ්‍යයන් පයුරුපාසාන කොට වෙනස් රසයක් ඉපැද්දවීම ඔහුගේ වෙසෙස් ලකුණකි. “සිංදු ඇහෙන කවි පොතක්” කවි එකතුවද එවැන්නකි. නුදුරු සැප්තැම්බර් මස 2 වැනි දා සවස 4ට බණ්ඩාරනායක සම්මන්‍ත්‍රණ ශාලා පරිශ්‍රයේ මිහිලක මැඳුරේදී මෙම කෘතිය එළි දකී.
මේ කතාබහ එම කටයුත්ත මූලික කරගෙනයි.
👉 කවි ලියලා වැඩක් වුණාද?
ඔවු වැඩක් වුණා. මගෙ පළවෙනි කවිපොත කරද්දි අපි දෙන්නා මේ විදිහට ම හමුවුණා. දැන් හතර වෙනි කවි පොත කරද්දිත් හමුවෙනවා. ඉතින් වැඩක් වෙලානෙ. මගෙ වැඩේ වුණේ කවියෙක් වෙන එක නෙවෙයි. එහෙම උත්සාහ කළ කාලයක් තිබ්බා. 90 අග 2000 මුල වගේ පත්තරවලට කවි ලියලා. කාව්‍ය සමාජය ඇසුරු කරලා. සතිඅන්ත පත්තරවල කවියක් ගියාම සතුටු වෙලා, කවියන්ගෙ නාම ලේඛනයෙ ඉන්න ආස වුණ කාලයක් තිබුණා. ඒ කවිය සම්පූර්ණයෙන් වළ දාලා මේක එන්නෙ සෝෂල් මීඩියා එක්ක. 2015 විතර මම සෝෂල් මීඩියාවලට එද්දි මා ගාව එකතු වෙලා තිබුණ ඒවා හතරපද කවි විදිහට මම එළියට දැම්මා. වැඩේ පත්තු වුණා. කොඩි පොතට පස්සෙ තමා මට පැටර්න් එක අහු වුණේ. මේ ස්ටෝරි ටෙලින් කවි වැඩේ. වෙනත් කාලා මාධ්‍යයකින් කරන වැඩේ මම මේක හරහා කරනවා.
👉 සිංහල කවිය මේ වෙද්දි සුසමාදර්ශ වෙනසක් ඉල්ලන තත්වයක තියන්නෙ. එක තැන පල්වීමක් වගේ. ඒ නිසාද ඔබ වෙනස් ආකෘති තෝරන්නෙ? සිනමාව – ගීතය – වගෙ කලා මාධ්‍ය එක්ක කවිය බන්ධනය කරලා මේක කරන්නෙ හුදු ජනප්‍රියවාදී බවටද?
සිව්පද ආකෘතියෙන් හරි, නිදහස් ආකෘතියෙන් හරි තමන්ට කියන්න ඔ්න දේ කවියො කියනවනෙ. මෙතනදි වෙන්නෙ මම ඇසුරු කරන කලා මාධ්‍ය කීපය – සිංදු විශේෂයෙන්ම – මම ඒවා විඳින එක තවත් පිරිසකට ගෙනියන්න තමයි මට ඔ්න වුණේ. ඒ කියන්නෙ මේක කලාවකින් කලාවක් ගෙනියන වැඩක්. මම සිනමාව එන්ජෝයි කළ හැටි රිදී පොතේ තියනවා, චිත්‍රපට බලපු විනෝදය, ඒවා බලපු සිනමාශාලා, ඒවා පහුකාලෙ කඩද්දි දැනුණ දේ වගෙ මට ළඟම දේ ඒ පොත හරහා ගෙනාවා.
ඒ වගෙම මම සිංදු අහද්දි මට දැනෙන්නෙ කොහොමද? සිංදු යනු ජාතියක් නොතිබුණා නම් අපේ ඉරණම මොන වගේ වෙයිද? නිකම් හිතන්න.. අපිට උදේ සමහර වෙලාවට සිංදුවක ඇහෙනවා. අපි ගාව ඒක දවසෙම තියනවා.. මම පොඩි කාලෙ සිංදු රහට ඉව අල්ලපු හැටි, කලා ලෝකයෙ මම කරක් ගහද්දි සිංදු ගැන මට දැනුණ දේ. ගායකයො, රචකයො ඇසුරෙදි. ඒවා මම මේ පොතට ගෙනාවා. මම ඉතාම විස්මයට පත් වෙන රචකයෙක් ලූෂන් බුලත්සිංහල. ඒ ලිවිල්ල ලේසි පුතයෙකුට කරන්න බැරි වැඩක්. ඒ වගෙ කෙනෙක් එක්ක මගෙ ඇසුර. ඒ වගෙ කලාපයක් මම අලුත් පොතේ ස්පර්ශ කරනවා.
👉 මේ ඔබේ අතීතකාමී ආසාවක් එළියට දමා ගැසීමක් කිව්වොත්?
පැහැදිලිවම. රිදී පොතෙත් තිබුණෙ ඒක. මේ පොතෙත් තියෙන්නෙ ඒක. කවුරුහරි කියනවා නම් අතීතකාමය එල්ලිලා තලුමරණවා කියලා. මම පිළිගන්නවා. ඒක තමයි මගෙ වින්දනය. මේ අපි ගත කරපු මොහොතට කලින් අපි ගත කළ මොහොතත් අතීතයනෙ.
👉 ඔබේ රසික සමාජය පැරණි විශ්වයක ඉන්න පිරිසක් විතරයි, නව පරම්පරාව ඔබ සමඟ නෑ කියලා මම යෝජනා කළොත්?
සමාජ මාධ්‍ය සමහර ප්‍රතිචාර බැලුවම 2000න් පසසෙ ගොඩක් අයගෙ ප්‍රතිචාර තියනවා. අපි නොහිතන තරම් කරුණු ඔවුන් දන්නවා. දත්ත විදිහට, තොරතුරු විදිහට දන්නවා අත්දැකීම් නැති වුණාට. ඔවුන් සිනමාපට බලන විදිහ වෙනස් ඇති. ඔවුන් ආස කරන එක සහ අපි ආස කරන එක පදනමින් සමානයි. වසර 40කට පස්සෙත් ජෝතිගෙ ප්‍රසංග බලන්න එයාලා යනවා. දැන් පැල් බැඳගෙන දුවන ක්ලැරනස් වැඩියෙන්ම බලන්නෙ ඔය පරම්පරාවනෙ.
👉 අවුරුදු 4කට පෙර හිටපු තැන නෙවෙයි ඔබ දැන් ඉන්නෙ. ඔබට සැලකිය යුතු රසික ප්‍රජාවක් එකතු වෙලා ඉන්නවා. මේ කාලෙ සාර්ථකවීම බොහෝ විට විනාශයට මුල. ඔ්න නම් අඳින්නත් පුළුවන්. අත්පත්කරගත් කොටස එක්ක වැඩ කරන්නෙ කොහොමද?
සිවිල් වටිනාකම ගැනනෙ ඔබ කියන්නෙ. ඒක යූස් කරන්නත් පුළුවන්, මිස්යූස් කරන්නත් පුළුවන්. ආචාරධර්ම අවුලකට නොයාගෙන දේවල් කරන එකේ අවුලක් නෑ. අපේ හැකියාවෙන් තමා දේවල් කරන්නෙ. ඒකට ලැබෙන වාණිජ වටිනාකම තීරණය කරන එක අපේ අයිතියක්නෙ. එහෙම කළාට කිසිම අවුලක් නෑ. මේ වැඩ එක්ක මට වාණිජ වැඩ මට ඇවිත් තියනවා. කැම්පේන් එකකට පද හතරෙ කවි දෙකක් ලියලා, රස්සාවෙන් හම්බෙන පඩිය වගෙ එකක් ලැබුණ අවස්ථා ඔ්න තරම් තියනවා. අපි කලාව විකුණන් කන්නෑ වගේ බොරු කෑලි මගෙ ළඟ නෑ. ළඟ ඉන්න කෙනාට ගේම දීලා යන විදිහක් නම් නෑ මා ගාව.
👉 ජෝතිපාල වගෙ ඉතිහාසයේ අසාධාරණයට ලක් වුණ කලාකාර පිරිසකට ඔබ ඔබේ මැදිහත්වීම ඇතුළෙ සාධාරණයක් කරමින් යනවා කියලා පේනවා. ඒක සබුද්ධිකව කරන දෙයක්ද, නැත්නම් වැඩ කරද්දි ආව අතුරුපලයක්ද?
ඔය කියන දේට අදාළව අසාධාරණය කියන්නෙ ආර්ථික හෝ මිල මුදල් නෙවෙයි. ඔවුන් කළ වැඩවලට අදාළව ඔවුන්ට හිමි තැන කියන එක. ඔය මැදිහත්වීමට සෑහෙන මට බලපෑවා නිහල් නෙල්සන්ගෙ ඇසුර. ඔහු කිව්ව බොහෝ සිදුවීම් නිසා මේ ගැන මම හිතන්න පෙළඹුණා. ඊට කලින් ඉඳලා ජෝති,එස්.එම්. ගැන ඇන්ටන් ජෝන්ස් ගැන ලිව්වා. ඒ වෙලාවලදි ජෝතිගෙ අයිතිකාරයො එහෙම මා එක්ක සෑහෙන පැටලුණා. ලොකු ආටිස්ට්ලට වැටවල් ගහපු අයිතිකාරයෝ නිසාත් එම වටිනාකමට වැට බැඳුණා. ජෝති සරමත් ගලවලා දුන්නා වගේ අතිශෝක්ති ප්‍රචාර මේවට බලපෑවා. මේ කලාකාරයො නිසි තැන තියන්න නම් අපි බැතිබර නොවී වැඩ කරන්න ඔනා.
නිහාල් නෙල්සන්ට ගහන්න පත්තර පිටු ගණන් වෙන් කරපු සමහරු මා එක්කම නිහාල් ගැන හොඳ කියන්න සංවාදවලට ආවා. දෙපිටකාට්ටු විචාරකයො පැත්තකට දාලා මේ ඉතිහාසයට සාධාරණයක් කරන්න ඔ්න. නිකම් හිතන්න ඇන්ටන් ජෝන්ස්ගෙ කලා භාවිතාව ගැන උපහාසයෙන් බලන එකක් මිසක් තවම ඔහුගෙ කාර්යය ගැන විචාරයක් තවම නෑ. ඒ වගේ බොහෝ දේ තියනවා කරන්න.
එදා ජෝතිව ඇකඩමික් පළාතක වැද්ද නොගත්ත කැම්පස් අද අරමුදල් හොයන්න ජෝති ප්‍රසංග කරනවා. ඒ මැද්දට තමා අපි පැනලා ඉන්නෙ මේ.
👉 ඔබේ ලේඛන කටයුතු සැලසුම්සහගත විදිහට කෙරෙන ඒවා – ව්‍යාපෘති විදිහට කරන ඒවා කියලා පේනවා. මොකක්ද ඉදිරිය?
මුලින්ම සමාජ මාධ්‍ය වේදිකාවේ මගෙ කවිය සාර්ථක වුණාම පසුව එතැනින් මාව වෙනස් කරගන්න හිතමින් ඉද්දි තමා ස්ටෝරි ටෙලින් විදිහට නිර්මාණ කරන්න පෙළඹුණේ. පසුව මට සිනමාව ගැන අදහස ආවා, ඔබ කියන්න වගේ යම් ඉලක්කයක් එක්ක තමා වැඩ කරන්නෙ. ඒකම කරනවා නෙවෙයි, ඒත් වැඩ කරද්දි ඒ ඉලක්කය ඔළුවෙ තියනවා. 83 පළමු වතාවට රිදී තිරය දැකලා වසර 40කට පස්සෙ මගෙ රිදී පොත ගෙන ආවෙ ඔය විදිහට. මේ පොත ගැනත් එහෙමයි. ගීත ඇසීමට දින වකවානු කාල අවකාශ නෑනෙ. සිංදු ඇහෙනවා. බස්වල, පාරෙ, නිවසෙ.. කවි පොත් ඔ්න තරම් තියනවා, සිනමාව ගැන කවිපොතක් – සිංදු ගැන කවිපොතක්.. වෙන විදිහකට ගේන්න තමා මම උත්සාහ කළේ.
👉 අපි එකතුවෙල කරපු “ෆාදර්” ෆිල්ම් එකේ ටැග් ලයින් එක “විනිශ්චය අවි-නිශ්චිතය” හදන්නෙ ඔබ. වචන එක්ක කරන මේ ඉරිසියා හිතෙන සෙල්ලම ආව කොහෙන්ද?
පත්තර රස්සාව අස්සෙ මට කරන්න ලැබුණෙ, සාහිත්‍ය කලා විශේෂාංග පිටු. ලිපිවල හෙඩින් දාන්න.. දැන් ඔය නව මීඩියාවල හෙඩින් දාන වගෙ ඒවා කරන්න සිදුවුණා. පසුව කවි ලිවීමෙන් ඒක සෑහෙන තියුණු වුණා. සමහර වචන ස්වභාවිකව එනවා කරගෙන යද්දි. අපි කවුරුත් සියලු හරඹ පාන්නෙ එකම වචන ටිකෙන්නෙ. අපි බලන විදිහ එක්ක තමා වෙනස් වෙන්නෙ. මම වෙන ග්‍රහලෝකෙකින් ගේනවද නෑනෙ.
👉 කවියෙක් විදිහට නෙවෙයි, ඔබ කාලයක් නමක් සටහන් කරපු මාධ්‍යවේදියෙක් විදිහට කටයුතු කළ කෙනෙක්. මාධ්‍යවේදියාට මොකද වුණේ?
තවමත් රස්සාවට මම මාධ්‍යවේදියෙක්. ඉස්සර කරපු කෙළි කරන්න පත්තරවල ඉඩක් නෑ. පත්තර සූදානම් නැත්නම් එහෙම ඒවට අපි නිකම් නටලා වැඩක් නෑ. මම ගොඩ නගාගත්ත දේවල් එක්ක මගෙ ඉඩේ මගෙ අදහස ලියන්න තවම අවස්ථාව තියනවා. ඉස්සර ඇම්මට කරපු වැඩ දැන් කරන්න හිතෙන්නැති, ඇති වගේ කියල හිතෙන තැනකට ඇවිත් තියනවා. ඒ භාවිතයෙ පොඩි උදාසීනකමක මම ඉන්නෙ ඇත්තටම.
👉 දේශපාලන කටයුතුවලට මාධ්‍යවේදියෙක් විදිහට සම්බන්ධ වෙලා දීර්ඝ ඉතිහාසයක් තියන ඔබ මොකද හිතන්නෙ අලුත් ආණ්ඩුව එක්ක රට යන අත ගැන?
මගෙ මුල් කාලෙ පත්තර භාවිතාව ඇතුළෙ අපිට ප්‍රශ්න දිහා බලන්න, ආණ්ඩු විවේචනය කරන්න දේශපාලනය කියවන්න, බලපාපු කෙනෙක් තමා ලසන්ත. ඔහුගෙ දිහා බලාගෙන තමා අපි සිංහල පත්තරේ වැඩ කළේ. වෙනසක් ඔ්න කියන එක අපි එදා ඉඳලා හිටියා. සිස්ටම් එක – ඒ මජර වැඩ. කලාකාරයො රාජපක්ෂකලාට කඩේ යනවා කියන එක මම වතාවක් ලිව්වා, වරදානවලට කඩේ යන නලාකාරයො කියලා. ඒක තමා ඒක වරනැගපු පළමු වතාව. ඒ කාලෙත් අපට ඒ ක්‍රමය හොඳ නෑ කියලා පෙනුණ නිසා අපි ඒක කිව්වා.
ඊට පස්සෙ වෙන ආණ්ඩු ගෙන්න මැදිහත් වුණා. ඒවත් වැඩේ නොකරද්දි අපි විවේචනය කළා. දැන් ආණ්ඩුව ඇවිත් තියනවා. අපට එකඟ විය නොහැකි කාරණා තියෙද්දි අපි කාලයක් දීලා තියනවා. මේ ආණ්ඩුවෙ බොහෝ අය අපේ මිත්‍රයො. ඒ අය විපක්ෂයෙ ඉද්දි ඒ අයගෙ මතය රටට කියන්න අපි මාධ්‍ය හරහා ඉඩ දුන්නා. ජනපති අනුරගෙ ඉඳන් කැබිනට් එකේ ආණ්ඩුවෙ විශාල පිරිසක් වසර 10කට එපිට කිව්ව ඒවා මාගාව තියනවා. ඒවා එකින් එක ප්‍රශ්න කරන්නත් පුළුවන් ඔ්න නම්. ආණ්ඩුව විවේචනය කරන්න පැහැදිලි අයිතියක් තියනවා. ජවිපෙ එදා චන්ද්‍රිකාට දුන්න පරිවාසෙ වගේ අපිත් ජවිපෙට දීලා තියන්නෙ පරිවාස කාලයක්.
සංවාදය – සඳුන් ප්‍රියංකර විතානගේ
