Breaking News

පොලීසිය විසින් බොරු චෝදනා එල්ල කොට ගොනුකළ නඩුවක විත්තිකරු නිවැරදි බවට අධිකරණයෙන් තීන්දුවක්

2017 වසරේ සිදුවූ මාර්ග නීති කඩ කිරීමට අදාළව දඩ මුදල නොගෙවූ බවට පොලීසිය විසින් අසත්‍ය චෝදනා එල්ල කොට නඩු දැමූ පුද්ගලයෙකු නිවැරදිකරු බව මහනුවර දිසා අධිකරණය විසින් පසුගියදා තීන්දු කෙරිණි. මෙලෙස උසාවිය හරහා නිවැරදිකරු බව ඔප්පු වූවේ ආම්බුළුවාව ගම්පොළ ප්‍රදේශයේ පදිංචි නිමල් දයානන්ද නැමැත්තෙකුයි.

2017 වසරේ මැයි 02වනදා නිමල් දයන්නන්ද නැමති මෙම පුද්ගලයා ගම්පොළ සිට A 5 මාර්ගයේ ගමන් කරමින් සිටියදී ගෙලිඔය ආසන්නයේදී තවත් වාහනයකට ඉස්සර කොට තිබේ. අවස්ථාවේ මාර්ගයේ කඩ ඉරි සහිත මාර්ග සලකුණු තිබී ඇති අතර ඉස්සර කළ වහාම පදික මාරුවක් තිබී ඇත. අවස්ථාවේ පොලිස් නිලධාරියෙක් ඔහු පදික මාරුවකදී වාහනය ඉස්සර කළ බව පවසා වාහනය නවතා ඇත. පදික මාරුවක් ඉදිරියෙන් පවතිද්දී තනි සුදු ඉරක් පැවතිය යුතු වුවත් තිබී ඇත්තේ කඩ ඉරකි. නිමල් දයානන්ද එම මාර්ග සංඥා වරද ගැන පොලිස් නිලධාරියාගෙන් ප්‍රශ්න කිරීමේදී පොලිස් නිලධාරියා පවසා ඇත්තේ එය මාර්ග සංවර්ධන අධිකාරියේ වරදක් බවත් එය තමන්ට අයත් දෙයක් නොවන බවත්ය. එසේම ආසන්න ප්‍රදේශයක පදිංචි කරුවෙක් බැවින් මාර්ග සංඥා මතක තබා ගන්නා ලෙසත්ය. ඉන්පසු ඔහු දඩ කොළයක්ද ලබාදී තිබේ.

පසුව නිමල් දයානන්ද මේ පිළිබඳ පැමිණිල්ලක් ගම්පොළ පොලිස් අධිකාරී කාර්යාලයට කර තිබේ. ඒ අවස්ථාවේ මේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකෙරෙන බැවින් දඩ මුදල ගෙවීමට අවශ්‍ය නොවන බවද පොලීසිය විසින් පවසා ඇත. පොලීසිය විසින් ලබාගත් මෙම පුද්ගලයාගේ රියදුරු බලපත්‍රය තාවකාලික එකක් වන බැවින් එය කල් ඉකුත් වීමට පෙර නැවත ඔහු පොලීසිය අමතා ඒ බව පවසා ඇත. ඒ අවස්ථාවේ ඔහුට ගම්පොළ ජේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයෙන් උපදෙස් දී ඇත්තේ නුවර දිසාව භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයෙන් විමසන ලෙසයි. නුවර කාර්යාලයට ගොස් විමසූ විට එම ස්ථානයේදීද ඔහුගෙන් පැමිණිල්ලක් සටහන් කරගෙන තිබේ. ඉන්පසු පේරාදෙණිය පොලීසිය විසින් තවත් දවස් 14ට රියදුරු බලපත්‍රය අලුත් කර දී තිබේ. මේ ආකාරයට අවස්ථා තුනකදී ඔහුගේ රියදුරු බලපත්‍රය පොලීසිය විසින් අලුත් කරවා දී ඇත.

එහෙත් අවසානයේ පොලීසිය විසින් චෝදනා දෙකක් යටතේ නිමල් දයානන්දට විරුද්ධව නඩු පවරා ඇත. එම චෝදනා දෙක වන්නේ ඉදිරියෙන් පැමිණෙන වාහනවලට බාධා වෙන පරිදි වාහනය පැදවීම සහ දඩ මුදල නොගෙවීමයි. අධිකරණයේදී ඡායාරූප හරහා එම ස්ථානයේ කඩ ඉරක් පැවති බව නිමල් දයානන්ද විසින් ඔප්පු කර තිබේ. නිමල් දයානන්දගේ බිරිද විසින්ද එම බව තහවුරු කරමින් සාක්ශි ලබාදී තිබේ.

මේ අතරතුර කාලයේ දඩ මුදල ගෙවා රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා පොලිස්පතිවරයා දක්වා විවිධ නිලධාරීන්ට මේ පිළිබඳ ලිපි මගින් දැනුම් දී ඇතත් කිසිදු සහනයක් ලැබී නොමැත. මේ අතරතුර කාලයේ නිමල් දයානන්ද විසින් මේ මාර්ග සංඥා වරද පිළිබඳ ප්‍රාදේශීය පරිපාලන නිලධාරීන්ට සහ මාර්ග සංවර්ධන නිලධාරීන්ට දන්වා තිබේ. එහි ප්‍රථිපලයක් ලෙස මාස කිහිපයකට පසු එම මාර්ග සංඥාව නිවැරදි කර තිබේ.

පොලීසිය වැනි නීතිය රැකීමට සිටින බව කියන ආයතනවල අධිකාරී බලය කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව බාර ගැනීම සමාජයේ පොදු ලක්ෂණයකි. සමාජයේ බොහෝ දෙනෙකු සිතන්නේ නැවත ප්‍රශ්න කිරීම අනවශ්‍ය අවදානමක් ගැනීමක් ලෙසයි. නමුත් එම නිශ්ශබ්දතාවය විසින් එම රාජ්‍ය ව්‍යුහයන්ට හිරකිතයකින් තොරව සාමාන්‍ය ජනතාව පීඩාවට ලක් කිරීමට අනුමැතිය ලබාදීමක් සිදුවේ. අවශ්‍ය වන්නේ එම ව්‍යුහයන් ප්‍රශ්න කරමින් ඒවායෙහි තිබෙන ප්‍රශ්නකාරී ස්භාවය සමාජය හමුවේ හෙළිකිරීමයි. නිමල් දයානන්දගේ සිදුවීම ඉතා කුඩා සිදුවීමක්. නමුත් එයින් සමාජයට ලබාදෙන්නේ එම පණිවිඩයයි.

leave a reply