Breaking News

කොවිඩ් ආසාදිතයන් 400ක් වාර්තා වූ කර්මාන්තශාලාව ගැන පරීක්ෂණයක් කරනවලු!

තුල්හිරිය මාස් කර්මාන්ත ශාලාවේ සේවකයන් හාරසිය දෙනෙකුට (400) එකවර කොවිඩ් ආසාදනය වීම පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති සිල්වාට අද (20) නියෝග කර තිබේ.

කර්මාන්තශාලාවල සෞඛ්‍යය ආරක්ෂක කමිටු පිහිටුවා කොවිඩ් වෛරසය පැතිරයාම පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස,හාම්පුතුන්ට සහ වෘත්තී සමිති නායකයන්ට දිගින් දිගටම උපදෙස් දී තිබිය දී,මේ සා විශාල සේවක පිරිසක් එකම කර්මාන්තශාලාවක දී කොවිඩ් වෛරසයට ගොදුරුවීම බරපතල කණගාටුදායක තත්ත්වයක් බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

ඒ අනුව මෙම කර්මාන්ත ශාලාවේ නියමිත පරිදි සෞඛ්‍ය කමිටු පිහිටුවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් නිසි පරිදි පිළිබඳ කටයුතු කළේ ද යන්න පිළිබඳව වහාම පරීක්ෂණයක් හා විමර්ශනයක් ආරම්භ කරන ලෙසයි අමාත්‍යවරයා කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.

මෙම කර්මාන්තශාලාවට අමතරව පානදුර, නුවරඑළිය සහ කොග්ගල යන ප්‍රදේශවලින්ද ඇඟලුම් කර්මාන්තය ආශ්‍රිතව වැඩි ආසාදිතයන් සංඛ්‍යාවක් මේ වනවිට වාර්තා වී තිබේ.

නෝර්වුඩ් ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවකයන් 16දෙනෙකුට කොවිඩ් අසාදනය වී ඇති බව පසුගියදා වාර්තා වී තිබුණු අතර මේවනවිට එම කර්මාන්තශාලාවෙන් වාර්තා වී ඇති මුළු ආසාදිතයන් ගණන 100 දෙනෙකි. නමුත් කර්මාන්තශාලාව වසා නොදමා තවදුරටත් නිෂ්පාදන කටයුතු සිදුකරන බව වාර්තා වේ.

ඇමතිවරයා පවසන සෞඛ්‍ය ආරක්ෂක කමිටු තබා සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් කිසිදු පියවරක් අනුගමනය නොකිරීම මෙම කර්මාන්තශාලාවල පොදු තත්ත්වයයි. ආණ්ඩුව පාර්ශවයෙන්ද එම කටයුතු නියාමනය වීමක් සිදුවන්නේ නැත. දෙවැනි කොවිඩ් රැල්ල පළමුව වාර්තා වූවේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවෙනි. පසුව වාර්තා වූ පරිදි එහි කිසිදු සෞඛ්‍යාරක්ෂණ වැඩපිළිවෙලක් නොතිබි ඇති අතර එහි සේවක සේවිකාවන් කොවිඩ් රෝගලක්ෂණ පෙන්වමින් තිබියදී පවා ඒ බව නොතකා කර්මාන්තශාලාව පවත්වාගෙන ගොස් තිබේ. එම නොසැලකිල්ල හේතුවෙන් කොවිඩ් වෛරසය විශාල පිරිසකට අසාදනය විය. එම අවස්ථාවේදී ආණ්ඩුව පැවසුවේ කර්මාන්තශාලාව තුළට කොවිඩ් පැමිණි ආකාරය සහ ආයතන හිමිකරුවන්ගේ නොසැළකිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා නීතිමය පියවර ගන්නා බවයි. නමුත් මේ දක්වා ඒ කිසිවක් සිදු නොවීය. කොවිඩ් තුන්වෙනු රැල්ලේදී ද පෙර ආකාරයටම සමාගම් විසින් තම ලාභය ගැන පමණක් සිතමින් තම තම සේවක සේවිකාවන් වසංගතයට බිලිදෙමින් සිටියි. ආණ්ඩුවේ පර්ශවද පරීක්ෂණ පවත්වන බව කියමින් නැගෙන විරෝධය මැඩපැවැත්වීම මිස වෙන කිසිවක් නොකරයි.

 

leave a reply