සොබාදහම විෂයෙහි මිනිසා විසින් සිදු කරන ලද විනාශය දැක සොබාදහම විසින් මේ වෛරසය එවා ඇති බවට ඇතැම් වාමාංශික සිතන්නන් පවා අදහස් දක්වනු දක්නට ලැබුණි.මේ දෙස ගැඹුරින් පරීක්ෂා කිරීමේ දී පෙනීයන්නේ වෙනත් අයුරකින් ” ආගමික දෙය ” අපගේ ” දේශපාලනික දෙය ” ආක්‍රමණය කිරීමට සමත් වී ඇති ආකාරය යි.දේශපාලනය හා ආචාර ධාර්මික භාවය අතර වන පරතරය වෙනත් අයුරකින් පිරවෙමින් පවතින බව වෙනත් අයුරකින් පැවසිය හැකිය.
විශ්වය හා මිනිසා අතර පවතින ඒකත්වය හා අරගලය පිළිබඳ අවධානය යොමු කිරීම දේශපාලනික අර්ථයෙන් ඉතා වැදගත් වනුයේ ද මේ හේතුවෙනි.මන්ද යත්, දේශපාලන දෙය හා ආගමික දෙය අතර වන බෙදුම් රේඛාව නිශ්චිතව සලකුණු කිරීම අනාගත මානව සමාජයේ සංවර්ධනය විෂයෙහි තීරණාත්මක වනු ඇත.
මිනිසා සොබාදහමේ ( විශ්වයේ / පරමාත්මයේ / දේවත්වයේ ) කොටසක් මිස විශ්වය පවතිනුයේ මිනිසාට පිටතින් පමණක් නො වේ.ස්වාභාවික දෙය හා කෘත්‍රිම දෙය ලෙස වෙන් කරන නිර්ණායක තනා ගෙන ඇත්තේ මිනිසා ම මිස මිනිස්මයත්වයට පිටතින් ඇති සොබාදහම නො වේ.මිනිස් ක්‍රියාවන් සොබාදහමේ ම ප්‍රකාශනයක් මිස ඒවා කෘත්‍රිම යැයි වෙන් කර දැක්වීම සොබාදහමට ම විරුද්ධ වීමකි.වඳුරෙකු ගසක අත්තක් කැඩීම සහ මිනිසෙකු ගසක අත්තක් කැඩීම ස්වාභාවිකත්වය හා කෘත්‍රිම බව පිළිබඳ හැඟවුම් ලෙස ගන්නේ කෙසේද ?
ගසක අත්තක් කැඩීමේ සිට පරිගණකය නිපදවීම,අන්තර්ජාලය සොයා ගැනීම,විස දුම පිට කිරීම,උෂ්ණත්වය ඉහළ යැවීම ආදී වශෙයෙන් වන මිනිස් ක්‍රියාවන් හා ඒවායේ ප්‍රතිඵල යනු ද ස්වභාව ධර්මය ම මිස අන් යමක් නො වේ.එය ස්වභාව ධර්මය විනාශ කිරීමක් හෝ වෙනස් කිරීමක් ලෙස අර්ථ ගැන්වීම පිටුපස පවතිනුයේ සොබාදහම මිනිසාගෙන් බාහිර කිසියම් බලවේගයක් ලෙස විග්‍රහ කිරීමේ විඤ්ඤාණවාදී ප්‍රවේශය ම ය.
තම පැවැත්ම පිළිබඳ සොබාදහම කිසිදු පිළිවෙළක් යෝජනා නො කරයි.අව්ව,වැස්ස,හිම,අයිස්,සුළඟ,කුණාටු,ටර්නඩෝ,විදුලි කෙටීම්,ගිනිකඳු පුපුරා යෑම හා සුනාමි ඇති වීම යනාදී කිසිවක් සම්බන්ධයෙන් සොබාදහම විශේෂ කම්පනයක් හෝ පක්ෂපාතීත්වයක් දක්වන්නේ නැත.ඒවායෙහි විසිතුරු බව හෝ විසකුරු බව සම්බන්ධයෙන් සොබාදමට විශේෂ අදහසක් නැත.සොබාදහම රැක ගැනීමට උත්සාහ දැරීම යනු ම සොබාදහමට විරුද්ධ අදහසකි.මන්ද යත්,එය රැක ගැනීමේ අදහසක් සොබාදහමට නැත.ඒ අර්ථයෙන් මිනිසා සොබාදහමෙන් වෙනස් වනුයේ එය විනාශ කිරීමේ දී නො ව එය ආරාක්ෂා කිරීමට සවිඤ්ඤාණක ව උත්සාහ දැරීමේ දී ය.
සොබාදහම යනු පෘථිවියට සාපේක්ෂව පමණක් පරිග්‍රහණය කළ හැකි ධර්මතාවයක් නො ව එය සමස්ත විශ්වය මත තබා සැලකිය යුත්තකි.අවකාශය තුළ සිදු වන අනන්ත අපරිමාණ ක්‍රියාකාරකම් කිසිවෙකු විසින් සැලසුම්සහගතව සිදු කරන්නේ නැත.ඉර,හඳ,තාරුකා,උල්කා,ග්‍රහලෝක ආදී කිසිවක් මිනිස් පැවැත්ම පිළිබඳ සලකා ගොඩනැඟුණ ඒවා නො වේ.මේ මහා අවකාශය තුළ සිදු වන ගැටීම්,පිපිරීම්,ඉපදීම්,මිය යෑම් කොතෙක් ද ?ඒ කිසිවක දී පැවැත්ම පිළිබඳ අබමල් රේණුවක පසුතැවීමක් සොබාදහමට පවතී ද ?
මේ අනුව සොබාදහම රැක ගැනීම ප්‍රවාදයක් පමණි.එම ප්‍රවාදය සොබාදහමට එරෙහිව ගොඩනඟා ගන්නා ලද්දකි; බෞද්ධ දර්ශනයේ මූලිකතම පිළිගැනීම්වලට එරෙහිව ගොඩනඟා ගන්නා ලද්දකි.අනිත්‍ය සංකල්පය ගොඩනැඟී ඇත්තේ සොබාදහමේ මේ අතිමූලික ස්වභාවය පිළිබඳ ගැඹුරු හැදෑරීමක් තුළ පිහිටමිනි.විශ්වයේ අල ගිය මුල ගිය තැන් සෙවීමේ නිසරු බව පිළිබඳ බෞද්ධ දේශනා වටහා ගත යුත්තේ එකී දාර්ශනික මානය වටහා ගනිමිනි.
මින් අදහස් වන්නේ මිනිසා සොබාදහම කෙරෙහි නිශ්ක්‍රීය විය යුතු බව නො වේ.මිනිසත් බව කෙරෙහි මිනිසා ද ඇතුළු සොබාදහමෙන් එල්ල වන අභියෝග ඉදිරියේ පැවතීම විෂයෙහි සොබාදහමට එරෙහි වීම අත්‍යවශ්‍ය වන බව යි.සොබාදහම විනාශ කිරීමේ ප්‍රධාන වාහකයා වන සොබාදහමට( මිනිසා ද ඇතුළු ) එරෙහිව මිනිසාගේ පැවැත්ම රැක ගත හැක්කේ මිනිසාට ම පමණි.
දේශපාලනය සහ ආගමික දෙය අතර වෙනස වැදගත් වනුයේ එනිසා ය.ආගමික දෙය විසින් අධිනිශ්චය කරනු ලබන සොබාදහමට එකඟව විසීමෙන් මිනිසාට ආරක්ෂා විය නො හැකිය.මිනිස් පැවැත්ම කෙරෙහි වන අභියෝගයන්ට ප්‍රතිඅභියෝග කිරීම සම්පූර්ණයෙන් ම දේශපාලනික දෙයකි.කෝවිඩ් වෛරසයට මුහුණ දීමට අප අසමත් වීම පිටුපස පවතිනුයේ ද එම දේශපාලනික අසමත්කම මිස අනෙකක් නො වේ.මෙබඳු අනතුරක් පරිකල්පනය කිරීමට පවා ලෝකයේ කිසිදු දේශපාලන ව්‍යාපාරයක්( දකුණ/වම ) සමත් නො වීම,න්‍යාය පත්‍රයන්ගේ ප්‍රමුඛතා අනුපිළිවෙළෙහි වූ විකෘතිය මේ ව්‍යවසනයට ප්‍රධාන හේතුව යි.
එය කිසිසේත් ම ආගමික දෙයෙහි වරදක් නො වේ.ආගමික දෙය විසින් මෙය අනතුරක් ලෙස පවා සලකන්නේ නැත.සමස්තය අනිත්‍ය ය.එපමණි.