අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂකගේ කැත වැඩක් ගැන තරුණ ජනමාධ්‍යවේදීන්ගෙන් පැමිණිල්ලක්

Date:

වෛද්‍ය ආචාර ධර්ම කඩ කරමින් වෛරී ප්‍රකාශන කරන අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වසන්ත දිසානායකට එරෙහිව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පැමිණිල්ලක් සිදුකර තිබේ.එම සංගමය පවසන පරිදි රෝහල් අධ්‍යක්ෂකවරයා මේ වන විට ඔහුගේ මුහුණු පොත හරහා වෛද්‍ය ආචාරධර්ම (Code of Conduct & Ethics,Medical Ordinance) උල්ලංඝනය කරමින් ජාතිවාදය ඇවිස්සෙන ආකාරයේ ප්‍රකාශ නිකුත්කරමින් සිටී. ඔහු රෝගියෙකුගේ නම සඳහන් කරමින් මුහුණු පොතේ සටහනක් යොදා තිබිම හරහා ද වෛද්‍ය ආචාර ධර්ම උල්ලංඝණය වීමට අමතරව සමාජය නොමග යැවීමට දායක වීම, ජාතිවාදී ගැටුම් ඇතිකිරීමට වක්‍රාකාරව කටයුතු කිරීම වැනි කරුණු පහක් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය තම ලිපියේ සඳහන් කර ඇත.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෛද්‍ය සභාව වෙත යොමුකළ සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

සභාපති,
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව.
සභාපතිතුමනි,

මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය වසන්ත දිසානායක මහතාගේ වෛද්‍ය ආචාරධර්ම උල්ලංඝනය කිරීමේ හැසිරීම සම්බන්ධව

ඉහත නම සඳහන් මහරගම පිළිකා රෝහල් අධ්‍යක්ෂකතුමා මේ වන විට ඔහුගේ මුහුණු පොත හරහා වෛද්‍ය ආචාරධර්ම (Code of Conduct & Ethics,Medical Ordinance) උල්ලංඝනය කරමින් ජාතිවාදය ඇවිස්සෙන ආකාරයේ ප්‍රකාශ නිකුත්කරමින් සිටී. 2020/04/06 වන දින ඔහු රෝගියෙකුගේ නම සඳහන් කරමින් මුහුණු පොතේ සටහනක් යොදා ඇති අතර එම සටහන මගින්

  1. දැඩි ලෙස වෛද්‍ය ආචාරධර්ම උල්ලංඝනය කිරීම
  2. රෝගියාගේ අනන්‍යතාවය බාහිරට නිරාවණය කිරීම
  3. ජාතිවාදී ගැ‍ටුම් ඇති කිරීමට වක්‍රාකාරව දායක වීම
  4. සමාජය නොමග යැවීමට දායක වීම
  5. ශ්‍රී ලංකාවේ දැනට පවත්නා නෛතික පටිපාටිය අනුගමනය නොකරමින් පුද්ගලයෙකු වරදකරුවෙකු කිරීම

සිදුකර ඇත.ජනතා බදු මුදලින් නඩත්තු කරන මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්ෂකධූරය හොබවන පුද්ගලයා තුළින් උන්මත්තක හැසිරීමක් නොව මීට වඩා වගකීම් සහගත හැසිරීමක් ජනමාධ්‍යවේදීන් ලෙසත් ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙසත් අපි බලාපොරොත්තු වන්නෙමු.

ඒ පිළිබඳ අප විසින් ගනු ලබන පළමු ක්‍රියාමාර්ගය ලෙස ගරු සභාපතිතුමා වන ඔබතුමා දැනුවත් කිරීම මෙයින් අපේක්ෂා කරමු. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස අපි ඉල්ලා සිටිමු. එසේම චෝදනාවට ලක් වෛද්‍යවරයා සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගයන් කවරේදැයි යන්න පිළිබඳව අප සංගමය දැඩි විමසිල්ලෙන් සිටින බව ද මෙයින් දන්වා සිටිමු.

වෛද්‍යවරයාගේ සටහන සහ ඊට අදාල ලේඛන මේ සමඟ අමුණා ඇත.

ස්තුතියි.

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

පිටපත් –
භද්‍රානි ජයතිලක මහත්මිය, ලේකම්, සෞඛ්‍ය අමාත්‍යංශය
අනිල් ජාසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව.
සභාපති, රාජ්‍ය සේවා කොමිෂන් සභාව.
දීපිකා උඩගම මහත්මිය, සභාපතිනිය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...