Breaking News

කොරෝනා මරණ අතරේ ඩොලර් 1ක ඔක්සිජන් වෑල් එකක් ඩොලර් 11,000 කට විකුණූයි

කසුන් සමරවීර

පසුගිය බ්‍රහස්පතින්දා, ඉතාලියේ බ්‍රෙසියා හි රෝහලක දැඩි සත්කාර ඒකකයේ සිටි අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යොදාගන්නා වෑල්ව (Ventilator Valves) හිඟයක් ඇති විය. රෝගීන්ගේ ස්වසන අපහසුතා වෙනුවෙන් ලබා දෙන හුස්ම ගැනීම පහසු කිරීමේ උපකරණයවලට මෙම විශේෂිත වෑල්ව සම්බන්ද කිරීම සිදුකෙරේ.

මෙම හිඟයට හේතුව වූයේ එම විශේෂිත වෑල්වය සඳහා මේ මොහොතේ ඇති ඉල්ලුම නිසා නිෂ්පාදන සමාගමට ඒවා සැපයීමට නොහැකි විමයි.

මුල් නිෂ්පාදන සමාගමට එම කොටස සැපයීමට නොහැකි වුවද, මෙවැනි ව්‍යවසනකාරී අවස්ථාවක එවැනි වෑල්වයක් නිෂ්පාදනය කිරීමට තමාටද උත්සහ කළ හැකි යැයි පවසමින් එරට තරුණ ඉංජිනේරුවන් දෙදෙනෙක් වන Cristian Fracassi සහ Alessandro Ramaioli ඒ සඳහා ඉදිරිපත් විය. ඒ අනුව, වෑල්වය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය එහි ත්‍රිමාණ සැලැසුම් පිටපත (Blueprint) ලබා දී ඒ සඳහා ඔවුන්ට උදව් කරනමෙන් අදාල නිෂ්පාදන සමාගමට තරුණයින් දෙදෙනා දැන්විය.

අදාළ සමාගම ඒ සඳහා ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ අදාළ ත්‍රිමාණ ගොනුව ලබා දිය නොහැකි බවත්, ඔවුන් එය තනිවම නිපදවීමට උත්සාහ කළහොත් බුද්ධිමය දේපළ පනත යටතේ ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්ය .

සිදුවෙමින් පවතින ජීවිත අවදානම් තත්ත්වය සළකමින් එම තරුණයින් එක් දිනක් ඇතුළත කෙසේ හෝ ත්‍රිමාණ ගොනුව මුල සිටම ඔවුන් විසින් තනිවම නිර්මාණය කළේය. ඔවුන් ආරම්භයේදී වෑල්ව 10ක් නිපදවූ අතර පසුව එය 100ක් දක්වා වැඩිකරමින් රෝහල් අතර ඒවා නොමිලේ බෙදා දුන්නේය. මේවන විටත් එම වෑල්ව මගින් ජීවිත කිහිපයක්ම බේරාගැනීමට හැකිව ඇත.

මෙම සිදුවීමේ වඩා අවධානය යොමුවන කරුණවන්නේ…
මෙම වෑල්වයේ නිෂ්පාදන මිල ලෙස අදාළ සමාගම ඩොලර් 11,000ක මුදලක් මේ දක්වා අයකර තිබීමයි. එය රුපියල් ලක්ෂ 21කට ආසන්න මුදලකි. නමුත් අදාළ තරුණයින් දෙදෙනාට එක් වෑල්වයක් ත්‍රිමාණ ලෙස මුද්‍රණය කර නිපදවීම සඳහා වැයවූයේ ඩොලර් 1ක පමණ මුදලක් පමණක් බව ඔවුන් පවසයි. එනම් රුපියල් 189ක් පමණි. ඒ අනුව අදාළ සමාගම මේවන විට ලබා ඇති ලාභය ගැන සිතාබලන්න…

මුලු ලෝකයම ජීවිත බේරාගැනීමේ සටනක සිටින මේ මොහොතේද පෞද්ගලික ඖෂධ සමාගම් තම ලාභය තර කර ගැනීමේ සැලසුම් මොහොතකටවත් පසුපසට ගැනීමේ සූදානමක් නැත. සෞඛ්‍ය සේවය ලාභ ගරන්නන්ගේ බූදලයක් වන්නට ඉඩදෙනවාද, නැතිනම් නිදහස් සෞඛ්‍ය සේවයක් වෙනුවෙන් ගෙනගිය සටන තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම වටා එකතුවනවාද යන්න මේ මොහොතේ අප තීරණය කළයුතුව ඇත.

leave a reply