පවන් අංජනගේ පළමු කාව්‍ය සංග්‍රහය ලෙස සුළඟ තුරු අගිස්සක කෘතිය 2020 පෙබරවාරි මස 17 වන සඳුදා දින අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය නව ශ්‍රවණාගාරයේදී ජනගත කරන්නට යෙදුණා. කාව්‍ය සංග්‍රහය කවි නිර්මාණ තිස් එකකින් හරබර වන අතර කෘතිය සන්ථව ප්‍රකාශනයක් ලෙසයි කළඑළි බසිනු ලැබූවේ.
කවිය පිළිබඳ කතා කිරීමේදී කෘතියේ සෑම කවියකමදීම පාඨකයා විවිධාකාර නව මානයන් වලට ගෙනයන්නට කවියා සමත් වී තිබෙනවා.
ඒ පිළිබඳ වූ කාරණා කිහිපයක් පමණක් සටහන තුළ දක්වන්නට මා බලාපොරොත්තු වෙනවා.
වර්තමාන ජන ජීවිතයේ කටුවකත්වය සහ අසීරුබව ආදිය කෙරෙහි කෘතියේ පළමු කවියෙන්ම ස්පර්ශය ලබා දී ඇත. හුදෙක්ම සමාජය තුළ කාන්තාව විඳින පීඩිත බව සහ ජීවිතයක් හෝ ජීවිත කිහිපයක් ජීවත් කරවීම උදෙසා දරන මහඟු සහ වේදනාකාරී කැපවීම ගැන හරි සියුම් විවරණයක් කවිය තුළ මුල සිට අගටම ගෙනයන්නට කවියා සමත් වී ඇති බව කිව යුතුයි. #කුවේණී නම් වූ එම කවි ගැලීම තුළ විජයාවතරණය ඔස්සේ මතුවන කපු කටින ලද ඇයක් ම වර්තමානය හා ගළපමින් සමාජයේ එතෙක් මෙතෙක් තුළ විපර්යාසයත් නොනිමි පවතින සමාජ ඛේදයන් ආධියත් අගේට ගලපන්නට අවස්ථාව රිසි සේ යොදාගෙන තිබේ.
” ත්‍රීපෝෂාවත් නැතිව අවසන
පුතා මැරුණ ලු එදා වනයෙ ම
දිසාලා වළහෙකුට ගොදුරු ව
දීග කනවලු පාළු ලෙන් තුළ… “
මේ කුවේණියගේ කාටත් වෙනස් කළ නොහැකි ඔහු දකිනා හෘද සාක්ෂියයි. කවියා කුවේණිය වර්තමාන කාන්තාව හා සසඳන්නේ සමාජ කාරණා පිළිබඳ අදහස්ව සූක්ෂම ලෙස පාඨකයා ඉදිරියේ ගොඩ ගසමින්.
” වියනව ලු ඈ කසී සළු තව
ලංකාපුර ගාමන්ට් එකේ
ඉඳහිටක රෑ හීනෙනුත් තව
පේනව ලු රුව විජයගේ… “
කුවේණිය ඉතිහාසයේ දුටු විජය ව වර්තමාන කාන්තාව ඒ සිද්ධි දාමයෙන්ම සහ ඒ කැඩපතින්ම තමන්වම දකිනා ස්වභාවය මින් ගම්‍ය වනවා. කෘතිය ආරම්භයේදීම කාන්තාවගේ හදවත් සටහන් යෙහෙන් ගෙන දක්වන්නට සාර්ථක වෑයම දරා ඇති අයුරු ප්‍රශංසනීයයි…!
කෘතිය තුළදී දැකිය හැකි සුවිශේෂි කරුණක් වන්නේ හැම කවියක්ම වර්තමානය හා ගළපන්නට හැකි වීම. කතා කරන්නට උත්සාහ දරා ඇත්තේ නානාවිද අයුරින් අලංකාර කරන ලද හෝ කැටයම් මතුකරන අමුතු සිහින ලෝක නොවෙයි. සියල්ලක්ම පොළොව මත හිඳ මිනිසුන් වෙනුවෙන් නිර්මාණය කළ නිර්මාණයන්ය.
” කැම්පස් ලියුම පන් මල්ලේ තියෙද්දිම
ගාමන්ට් එකට යනවා අක්කා තාම
අම්මා කුවෙට් ගිහිල්ලා දැං කල් බෝම
මගෙ ම නොවෙයි මේකත් අක්කගෙ ගවුම…
බෙල් එක වදිනකොට උදේට හතේ හත
ටීචර් බලන්නේ නීතිය කළ යුත්ත
ගවුම කොට වීම වරදක් බව ඇත්ත
මම උස ගිහිං ඒකයි ඇත්තම ඇත්ත…”
මෙයයි තවමත් වකුගඩු රෝගයෙන් පෙළෙන පළාත් වල තත්වය. කවියා වස්තු විෂය කරගෙන ඇත්තේ බොහෝ විට තමා අවට ජීවත් වන ප්‍රදේශය වනවාට සැකයක් නැත. වකුගඩු රෝගයෙන් පීඩිත පවුලක ඉරණම #ඒකයි_ඇත්තම_ඇත්ත කවියෙන් දක්වන්නට උත්සාහ දරා තිබෙනවා . ආර්ථික අපහසුතාවය, අධ්‍යාපන තත්වයන්ගේ නොසිතූ බිඳවැටීම්, රෝගය නිසා විඳින කායික සහ මානසික ගැටළු, පවුල් ඒකකයේ තිබි සබඳතා වල දෙදරා යාම් ඔහු කැටිකොට කවිය තුළ රස මවන්නටත් පාඨකයාව සංවේදී කරන්නට වෑයම් දරා තිබෙනවා.
මීට අමතරව වැඩට යන කාන්තාව හා සම්භණ්ධයක් #අම්මි කවියෙන් ජීවමාන කරනවා. කවියා ඉන් ගෙන එන්නේ ජීවිත වඩාත් ආර්ථික මට්ටමින් යහපත් කරනු වස් ගෙදරක අම්මා යන උතුම් භූමිකාව විසින් සිදු කරන අප්‍රතිහත සේවයයි. බොහොමයක් පවුල් තුළ වර්තමාන සත්‍යය මෙයයි. කවිය තුළ මවගේ ස්නේහය, පරිත්‍යාගශීලි බව, සෙනෙහෙවන්ත කම් ආදිය පිළිබඳ අඩුවක් නැතිව ම සුදුසු වචන දැනෙන අයුරින් පෙළගස්වා තිබෙන බවක් දකින්නට හැකියි.
” බරටම දර නැති වුණාට
දෑතට වෙරළු නොගෙනාවට
හද උතුරන
සෙනෙහස ගෙන
අම්මි එනවා… “
දරුවෙකු විසින් වැඩ නිමවී හවසට ගෙදරට එන මව දකින ආකාරයයි මේ. නිර්මාණාත්මක ගුණය වචන භාවිතයද හරි සිල්ගන්නා සුළු ආකාරයෙන් සිදුකොට තිබෙනු දකින්නට හැකියි…!
උපමා රූපක භාවිතයද කාව්‍ය රසය කෙරෙහි බලපාන්නාවූ ප්‍රධානම සාධකයකි. #දහවල නොකියන දේවල් අන්ධකාරය පෙන්වන හැටි නම් කවිය තුළ හරි අපූරු සංකලනයක් රූපක හා උපමා කෙරෙහි දැකගත හැකියි.
” හකු බැහැලා ඇස් ගිලිලා
ඒත් සුරුට්ටුව උර උර
ගාට ගාට අහසට එයි
සුදුමැලි කෘෂ අටවක සඳ …”
කවියෙක්ගේ හැකියාව නම් ජනයාට දෑස් ඉදිරියේම පෙනෙන්නට ඇති කාරණා හෝ නොපෙනෙනා සියුම් කාරණා රසවත්ව සහ සිතෙහි යම් කිසි ආකාරයෙන් සිත්තමක් තදින් ඇඳෙනා අාකාරයෙන් සිද්ධි ගෙනහැර පෑමයි. ඉන් කවියා සහ පාඨකයා අතර තද මානව බිඳීමක් නොව මානව බැඳීමක් ඇති විය යුතුය. කවියෙක් නම් ඔහු සමස්ත සමාජයක් නියෝජනය කරමින් සමාජ ගැටලු, අඩුපාඩු මෙන්ම අලංකාරයන්ද එක සේ ප්‍රභල සහ කියවන්නාගේ හදවත සොරාගන්නා ආකාරයෙන් වාග් මාලාවකින් සරසවා නිර්මාණයන් බිහිකළ යුතුය යන්න පෞද්ගලික මතයයි. ඒ ගුණය මේ කෘතිය හා නෑකම් කියන බව ප්‍රකාශ කළ යුතුයි.
කෘතිය පිළිබඳව සමස්තයක් සේ ගත් කළ භාෂා විලාශයේ හැසිරවීමත්, කාව්‍ය අලංකරණයත්, සිද්ධි හා අවස්ථාවන් තියුණු ලෙස කාව්‍ය නිර්මාණයන් කෙරෙහි යොදාගෙන ඇති බවත් කාව්‍ය කරණයේ දි තාක්ෂණික කාරණා කෙරෙහි දක්වා ඇති සැළකිල්ලත් විශිෂ්ඨයි.
අමිල චතුරංග