‘වාහනවල තාක්ෂණික තොරතුරු දීම ප්‍රතික්ෂේප කර තිබියදීත්’ BYD වාහන නිදහස් කරන්න රේගුව එකඟ වෙයි

ශ්‍රී ලංකා රේගුව මගින් රඳවාගෙන සිටින BYD විද්‍යුත් වාහන 506ක් අමතර බැංකු ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව අද (සැප්: 03) අභියාචනාධිකරණය හමුවේ එකඟ විය.

ආනයනය කරන ලද විද්‍යුත් වාහන තොගයක් මුදා හැරීමකින් තොරව රඳවා ගැනීමට එරෙහිව ජෝන් කීල්ස් ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ් සමාගම ගොනු කර තිබූ පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම එකඟතාව පළ කෙරිණි.

සමාගමෙන් රේගුව ගැන චෝදනා
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබී ය.

එහිදී, පෙත්සම්කාර සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මීට පෙර අධිකරණය හමුවේ ඇති කර ගත් එකඟතාව මත බැංකු ඇපකරයක් මත රේගුව විසින් රඳවා ගනු ලැබ සිටි විද්‍යුත් වාහන 991ක් මුදා හැර තිබූ බව සඳහන් කළා ය.

ඉන්පසුව, එම කාණ්ඩයට ම අයත් වාහන 506ක් සිය සේවාදායකයා ආනයනය කර තිබෙන අතර, එම වාහන මුදා හැරීම රේගුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබෙන බවටත් ජනාධිපති නීතිඥවරිය චෝදනා කළා ය.

රේගුවේ මෙම ක්‍රියා කලාපය නිසා තම සේවාදායකයාට ව්‍යාපාරික කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් ඇය සඳහන් කළා ය.

‘වාහනවල තාක්ෂණික තොරතුරු දෙන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා’
ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් පසුගිය නඩු දිනයේ වාහන 901ක් බැංකු ඇපකරයක් මත නිදහස් කිරීමේ එකඟතාව ඇති වූ අවස්ථාවේදී පෙත්සම්කාර සමාගම අදාළ වාහන පිළිබඳ විමර්ශන කටයුතුවලට සහය දක්වන බවට අධිකරණය හමුවේ එකඟ වූ බව කියා සිටියේ ය.

එහෙත්, මෙම වාහනවලට අදාළ තාක්ෂණික තොරතුරු ලබා දෙන ලෙස රේගුව පෙත්සම්කාර සමාගමෙන් ඉල්ලා සිටිය ද, ඒවා ලබා දීම ප්‍රතික්ෂේප කර තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා චෝදනා කළේ ය.

මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විමසා සිටියේ අතිරේක බැංකු ඇපකරයක් මත දැනට ආනයනය කර තිබෙන වාහන මුදාහැරීම හැකියාවක් තිබේ ද? යන්න ය.

බැංකු ඇපකරයක් මත වාහන මුදා හැරීම

ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන්ගෙන් උපදෙස් ලබාගෙන අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙත්සම්කාර පාර්ශවය විසින් අතිරේක බැඳුම්කරයක් ඉදිරිපත් කරන්නේ නම් පෙර ඇති කර ගත් එකඟතාවයේ කොන්දේසි මත අදාළ වාහන මුදාහැරීමට හැකියාවක් තිබෙන බව පැවසීය.

බැංකු ඇපකරය වශයෙන් ගෙවිය යුතු මුදල් වටිනාකම ගණනය කර පෙත්සම්කාර පාර්ශවයට දැනුම් දෙන බවත් ඔහු සඳහන් කළේ ය.

එම වටිනාකම දැනුම් දුන් පසුව බැංකු ඇපකරය ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත්, පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරිය සඳහන් කළා ය.

ඒ අනුව, අදාළ ඇපකරය මත වාහන මුදා හැරීමට කටයුතු කරන ලෙස අභියාචනාධිකරණය ශ්‍රී ලංකා රේගුවට දැනුම් දුන්නේ ය.

මේ අතර, අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම වාහන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තාක්ෂණික කාරණා කීපයක් පෙත්සම්කාර පාර්ශවය වෙතින් ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බවත් ඒවා මොනවා ද? යන්න දැක්වෙන මෝසමක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් සඳහන් කළේ ය.

ඒ අනුව, අදාළ මෝසම ඉදිරිපත් කරන ලෙස සොලිසිටර් ජනරාල්වරයාට දැනුම් දුන් අධිකරණය පෙත්සම යළි සැප්තැම්බර් මස 15 වන දා කැඳවන ලෙස නියම කළේ ය.

උපුටා ගැනීම – BBC සිංහල

මෙම වාහනවල මෝටරයේ ධාරිතාවය සම්බන්ධව ඇතිවූ ගැටළුවක් මත මෙම වාහන රේගුව විසින් රඳවාගෙන තිබුණි. රේගුවේ චෝදනාව වූවේ ධාරිතාව අඩුවෙන් පෙන්වීම හරහා මෙම වාහන ආනයනික සමාගම බදු වංචාවක් සිදුකර ඇති බවයි.

ඒ අනුව අදාළ වාහනවල බදු අතර පවතින පරතරය ලෙස ගණනය කර තිබෙන රුපියල් 3,552,909,200/- (රුපියල් බිලියන 3.6 කට ආසන්න) මුදල රාජ්‍ය බැංකුවක ඇපකරයක් වශයෙන් පෙත්සම්කාර සමාගම ඉදිරිපත් කළ යුතු අතර එම ඇපකරය සඳහා අදාළ වන පොලිය පෙත්සම්කාර සමාගම ගෙවීමට එකඟ විය යුතු බව අධිකරණයේදී එකඟතාවකට පැමිණෙන ලදී.

ඊට අමතරව අදාළ වාහනවල මෝටරයේ ධාරිතාව කිලෝ වොට් 100 ද නැතිනම් 150 ද යන්න නිගමනය කිරීම සඳහා පේරාදෙණිය හා මොරටුව විශ්ව විද්‍යාලවල තාක්ෂණික විශේෂඥයින් දෙදෙනෙකු, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයෙකු , මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශේෂඥ නිලධාරියකු ඇතුළත් කමිටුවක් පත් කිරීම ද ඊට ඇතුළත් කොන්දේසියකි.

මේ අනුව ඉහත පුවතේ සඳහන් ආකාරයට පරීක්ෂණ සඳහා අවශ්‍ය තාක්ෂණික තොරතුරු සමාගම විසින් ලබා නොදෙන්නේ නම් රජයට අහිමිව තිබූ බදු මුදල් නැවත ලැබුනද වංචාවක් සිදුවී තිබෙන්නේ නම් ඊට අදාළව පියවර ගැනීම අපහසු වෙනු ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...