Breaking News

ඉදිරි මැතිවරණ වලදී ඡන්දදායකයාට අල්ලස් ලබාදුනහොත් මන්ත්‍රී ධුරය අහෝසියි

ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයට ඓතිහාසික පරිච්ඡේදයක් එක් කරමින් මොණරාගල මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා ඊයේ (13) දිනයේදී සුවිශේෂී නඩු තීන්දුවක් ලබාදුන්නේය.

ඒ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල දිස්ත්‍රික්කයේ එක් පළාත් පාලන ආයතනයක අපේක්ෂකයෙකු මැතිවරණ කාලසීමාව තුළ ඡන්දදායකයන්ට විවිධ අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේද සහාය ඇතිව ගොනු කරනු ලැබූ නඩුකරයට අදාල තීන්දුව ඊයේ ප්‍රකාශයට පත්කරමිනි.

ඒ අනුව අල්ලස් ලබාදී ජයග්‍රහණය කල අපේක්ෂකයා පළාත් පාලන මන්ත්‍රී ධුරයෙන් ඉවත්කල අතර ඊළඟ වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයා පත්කරන්නට නියෝග කරන ලදී.

මෙම ඓතිහාසික නඩු තීන්දුව මගින් අනාගතයේ අපේක්ෂකයන් ඡන්දදායකයන්ට අල්ලස් ලබාදීමට නොපෙළඹෙනු ඇත. යම් හෙයකින් එසේ කෙරුවද ඕනෑම මොහොතක ඔවුන්ගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්කිරීමට ඉඩකඩ සැලසෙනු ඇත. එපමණක් නොව අපේක්ෂක වියදම් සීමාකිරීමේ නීති සම්පාදනයේ අවශ්‍යතාවය හා මැතිවරණයකදී සමබිමක අවශ්‍යතාවය නැවත වරක් අවධාරණය වී ඇත.

එමෙන්ම මෙම ජයග්‍රහණය සඳහා අවශ්‍ය තොරතුරු ලබාගැනීමට හැකිවූයේ තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වීම හේතුවෙනි.

මෙම නඩුකරය අප පවත්වාගෙන යනු ලැබුවේ බාධක රාශියක් මධ්‍යයේය . ඒ සඳහා සහාය විය යුතු ඇතැම් ආයතන මගහැර යද්දි අතිශය කැපවීමක් සිදුකල නීතීඥවරුන් දෙපළට ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනාගේ ගෞරවය හිමිවිය යුතුය. එමෙන්ම ඒ සඳහා අවංකව සහාය දැක්වූ මැතිවරණ නිලධාරීන්ටද මෙය සතුටට කරුණක් වනු ඇත. එමෙන්ම මේ සඳහා වෙහෙසවූ සිවිල් සංවිධාන නියෝජිතයින් හා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටද ස්තූතිවන්ත වෙන බව පැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි .

leave a reply