2 කොටස
මුල් ලිපිය අවසන් කරනු ලැබුවේ මාලිමාවේ සමාජ ගිවිසුම යනු කුමක් ද යන්න තේරුම් ගැනීමට කලින් සමාජ ගිවිසුම ගැන යම් තේරුම් ගැනීමකට යොමු විය යුතුය යනුවෙන් ය. ඒ අනුව රාජ්‍ය හා ජාතිය පිළිබඳ අදහස් දක්වා ඇති බුද්ධිමතෙකු වන අර්නස්ට් ගෙල්නර්ගේ කෘතියේ එන රාජ්‍යය පිළිබඳ අදහස්වලින් මෙම ලිපියට ප්‍රවේශ වීමට බලාපොරොත්තු වේ.






“රාජ්‍යය පිළිබඳ සාකච්ඡාව ආරම්භ කළ හැක්කේ මැක්ස් වෙබර්ගේ සුවිශේෂී අර්ථ දැක්වීමෙනි, එනම් රාජ්‍යය යනු සමාජය තුළ නීත්‍යානුකූල ප්රචණ්ඩත්වයේ ඒකාධිකාරය හිමි ආයතනය ලෙස ය. මෙය පිටුපස ඇති අදහස සරල සහ ආකර්ෂණීය ය: අප අතරින් බොහෝ දෙනෙක් ජීවත් වන හෝ ජීවත් වීමට අපේක්ෂා කරන, මනාව සංවිධානය වූ සමාජවල, පුද්ගලික හෝ ආංශික ප්රචණ්ඩත්වය නීත්‍යානුකූල නොවේ. ගැටුම නීත්‍යානුකූල නොවන නමුත් එය පෞද්ගලික හෝ ආංශික ප්‍රචණ්ඩත්වයෙන් නීත්‍යානුකූලව විසඳිය නොහැක. ප්රචණ්ඩත්වය යෙදිය හැකි වන්නේ මධ්‍යගත වූ දේශපාලන අධිකාරියට සහ එයට මෙම අයිතිය පවරන අයට පමණි. පිළිවෙල පවත්වා ගැනීමේ විවිධ සම්බාධක අතර, අවසාන දෙය වන්නේ – බලය ය. එය සමාජය තුළ ඇති එක් විශේෂ වූ, පැහැදිලිව හඳුනාගත් සහ හොඳින් මධ්‍යගත, විනයගරුක ආයතනයකට පමණක් යෙදිය හැකිය. එම ආයතනය හෝ ආයතන සමූහය රාජ්‍යයයි.”
මෙම නිර්වචනයේ අන්තර්ගත අදහස නූතන සමාජවල බොහෝ දෙනෙකුගේ, බොහෝ විට බොහෝ සාමාජිකයින්ගේ සදාචාරාත්මක බුද්ධියට බෙහෙවින් අනුරූපී වන්නේ ය. කෙසේ වෙතත්, එය සම්පූර්ණයෙන්ම සතුටුදායක නොවේ. ‘රාජ්‍යයන්’ ඇත – නැතහොත්, කෙසේ වෙතත්, අපි සාමාන්‍යයෙන් එම නමින් හැඳින්වීමට නැඹුරු වන ආයතනයන් ය. ඔවුන් වැඩි වශයෙන් හෝ අඩුවෙන් ඵලදායී ලෙස පාලනය කරන භූමිය තුළ නීත්‍යානුකූල ප්රචණ්ඩත්වය ඒකාධිකාරී නොකරන බැවිනි. වැඩවසම් රාජ්‍යයක් තම ඉඩම් හිමියන් අතර පෞද්ගලික යුද්ධවලට අනිවාර්යයෙන්ම විරුද්ධ නොවේ, ඔවුන් තම අධිපතියාට ඇති යුතුකම් ද ඉටු කරන්නේ නම්; නැතහොත් නැවතත්, එහි යටත්වැසියන් අතර ගෝත්‍රික ජනගහනය ගණන් කරන රාජ්‍යයක්, එහි නියැලෙන අය පොදු මාර්ගයේ හෝ වෙළඳපොලේ මධ්‍යස්ථ පුද්ගලයින් අනතුරේ හෙළීමෙන් වැළකී සිටින තාක් කල්, ආරවුල ස්ථාපිත කිරීමට අනිවාර්යයෙන්ම විරුද්ධ නොවේ. පළමු ලෝක යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍ය රැකවරණය යටතේ ඉරාක රාජ්‍යය, ගෝත්‍රික වැටලීම් ඉවසා සිටියේ, ගවේෂණයට පෙර සහ පසු වැටලීම්කරුවන්ට ළඟම ඇති පොලිස් ස්ථානයට නිසි ලෙස වාර්තා කර, ඝාතනය කරන ලද සහ කොල්ලකෑමේ ක්‍රමවත් නිලධාරිවාදී වාර්තාවක් ඉතිරි කරමිනි. කෙටියෙන් කිවහොත්, නීත්‍යානුකූල ප්රචණ්ඩත්වයේ ඒකාධිකාරය බලාත්මක කිරීමට කැමැත්තක් හෝ මාධ්‍යයක් නොමැති රාජ්‍යයන් ඇත, කෙසේ වෙතත්, බොහෝ පැතිවලින් ඒවා පිළිගැනීමේ දේපළ ලෙස පවතී. කෙසේ වෙතත්, වෙබර්ගේ යටින් පවතින මූලධර්මය වලංගු බව පෙනේ, දැන් එය කෙතරම් අමුතු ලෙස ජනවාර්ගික කේන්ද්‍රීය වුවත්, හොඳින් මධ්‍යගත බටහිර රාජ්‍යය පිළිබඳ එහි නිහඬ උපකල්පනය සමඟ, රාජ්‍යය සමාජ ශ්‍රම බෙදීමේ ඉතා සුවිශේෂී හා වැදගත් විස්තාරණයක් වේ. ශ්‍රම බෙදීමක් නොමැති තැන, කෙනෙකුට රාජ්‍යය ගැන කතා කිරීමට පවා පටන් ගත නොහැක. නමුත් කිසිදු හෝ සෑම විශේෂත්වයක්ම ස්ථාවරයක් ඇති නොකරයි: රාජ්‍යය යනු පිළිවෙල නඩත්තු කිරීමේ විශේෂීකරණය සහ සාන්ද්‍රණයයි. රාජ්‍යය යනු පිළිවෙල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් වන ආයතන සමූහයකි (ඒවා වෙනත් හා කුමක් වුවත්). පොලිස් බලකායන් සහ අධිකරණ වැනි විශේෂිත නියෝග ක්‍රියාත්මක කිරීමේ ආයතන ය. සමාජ ජීවිතයේ ඉතිරි කොටස් වලින් වෙන් වී ඇති රාජ්‍යය පවතී. ඒවා රාජ්‍යයයි. (අර්නස්ට් ගෙල්නර්)
සමාජ ගිවිසුමක් ඇයි?
සමාජ ගිවිසුමක් පිළිබඳ අවශ්‍යතාවය පැන නගින්නේ රාජ්‍යයක ඇති අස්ථාරවත්වය හේතුකොට ගෙනයි. රාජ්‍යය ගැටලුවකට පත් වී ඇති අවස්ථාවකය. පාලන ක්‍රමය සහ පාලනයේ පිළිවෙළ අවුල් වූ අවස්ථාවක ය. ව්‍යවස්ථානුකූලව මැතිවරණ මගින් ආණ්ඩු මාරු වුවද පිළිවෙලකට පවතින රාජ්‍යයක් ඇත්නම් ආණ්ඩු බලය මාරු වීම ගැටලුවක් වන්නේ නැත. හොඳම හා මෑතකම ඇති ප්‍රතිවිරුද්ධ නිදසුන වන්නේ අමෙරිකා එක්සත් ජනපදය ය. ට්‍රම්ප් පාලනය බලය ලබා ගැනීමෙන් පසු ඔහු විසින් ගන්නා ක්‍රියාමර්ග තුලින් පෙනෙනුයේ රාජ්‍යයේ ඇති අවුල ය. ඔහුගේ දේශපාලන සටන් පාඨය වන “ නැවතත් අමෙරිකාව ශ්‍රේෂ්ඨත්වය කරා” යන තේමාව යොදා ගැනීම සිදුව ඇත්තේ, දැන් අමෙරිකාව ශ්‍රේෂ්ඨ නො මැති බවය. ඒ අනුව ට්‍රම්ප් පාලනය ජනතාව සමඟ ගිවිසුම් ගත වන්නේ බොහෝ ප්‍රතිසංස්කරණයන්ට යොමුවීමෙන් ය. එය සාර්ථක හෝ අසාර්ථක වුවද රාජ්‍යය රට සහ ජාතිය අර්බුද්ධයට ගමන් කරන කල පාලන ක්‍රමය වෙනස් කරමින් රාජ්‍යය ස්ථාපිත කිරීමට ගන්නා ආකාරය ය.
නූතන අර්ථයෙන් රාජ්‍යයක් ජාතික රාජ්‍යයක් බවට පත්වීමත් සමඟ ජාතිය යන්න ගැන අවධානය යොමු කරමින් කිසියම් රටක ජාතිය හදා ගැනීම සිදු කරනු ලබයි. මේ “රට ජාතිය” ගොඩ නැගීම සඳහා එය පාලනයකට යටත් විය යුතු ය. පාලනයට නීති පද්ධතියක් සහ පිළිවෙළක් පැවතිය යුතුය යන අවශ්‍යතාව මත පදනම් වූ “සමාජ ගිවිසුම” පිළිබඳ දේශපාලන සහ දාර්ශනික සංකල්පයන් කෙරෙහි මඳක් අවධානය යොමු කර බලමු. රාජ්‍යයක් සහ ජාතියක් නියමාකාරාව බිහිකර ගැනීමට ප්රබුද්ධ යුගය තුළ පදනම් වූ ඓතිහාසික අදහස් මේ සඳහා සලකා බැලිය හැකි වේ.
සමාජ ගිවිසුම සම්බන්ධයෙන් සලකා බැලීමේ දී, ඒ සඳහා ප්‍රධාන වූ තෝමස් හොබ්ස්, (Thomas Hobbes) ජෝන් ලොක් (John Locke ) සහ ජීන්-ශාක් රූසෝ(Jean-Jacques Rousseau) වැනි දාර්ශනිකයන් ප්‍රධාන වෙති. ඔවුන්ගේ කෘතිවල එන මෙම අදහස් සමාජ ගිවිසුමට අදාලව ප්රමුඛස්ථානයක් ගන්නට විය. මේ අය සමාජය සමඟ ඇති කරගන්නා ගිවිසුම නැතිනම් සම්මුතිය ගැන කතා කරති. ඊටත් එහාට ගමන් කරමින් ග්‍රීසියේ ඉතිහාසයට ගමන් කළ හැකි වුවත්, අද නූතන ලෝකයේ රාජ්‍ය බිහිවීමේ පදනම් ලෙස මෙම සංකල්ප කෙරෙහි අපිට අවධානය යොමු කළ හැකි ය. ඉන් අනතුරුව අද දක්වා ලෝකයේ රට රාජ්‍ය සහ ජාතීන් ගොඩනගා ගැනීමේ දී කුමනාකාරයේ සම්මුතීන් පවතින්නේ ද පැවැතිය යුතුද යන්නත් අස්ථාවර වන, බිඳ වැටෙන සහ ගැටුම්කාරී රාජ්‍යයන් යළි ගොඩ නැගීමේ දීත් ඇති කර ගත යුතු සම්මුතීන් පදනම් කර ගනිමින් මේ පිළිබඳව වැඩිදුර සොයා බැලිය හැකි වේ.
සමාජ ගිවිසුමක අරමුණ කුමක් ද: සමාජ ගිවිසුම දේශපාලන අධිකාරියේ නීත්‍යානුකූලභාවය සහ රාජ්‍යයේ ආරම්භය පැහැදිලි කරයි. ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍යය හුවමාරු කර ගැනීම සඳහා කිසියම් නිදහසක් අත්හැරීමට මිනිසුන් සෘජුව හෝ ව්‍යංගයෙන් එකඟ වන බව එයින් යෝජනා කරයි. මේ මගින් සමාජයක් ගොඩනැගීමටත් ඊට ආරක්ෂාවත්, පිළිවෙලත් සහ ඇතැම් ප්‍රතිලාභත් ගෙන දීම සඳහා එ් තුළ ඇති නීති, රීති, නීති සහ සම්මතයන්ට අනුකූල වීමට පුද්ගලයන් අතර ව්‍යංග සහ පොදු එකඟතාවයක් ඇති කර ගැනීම සම්මුතිය තුළ අදහස් කරයි.
තෝමස් හොබ්ස් (ලෙවියාතන්, Leviathan:1651): සමාජ ගිවිසුමක් නොමැතිව මානව ජීවිතය “නපුරු, කුරිරු සහ කෙටිකාලීන” වනු ඇතැයි ඔහු විශ්වාස කළේය. සාමය පවත්වා ගැනීම සඳහා නිරපේක්ෂ වූ සර්වබලධාරීත්වයකට බාර දීමට මිනිසුන් එකඟ වේ. හොබ්ස්ගේ අදසහට අනුව ඔහුගේ දැක්ම අශුභවාදීබවක් පෙන්නුම් කරයි. මිනිසුන් ස්වභාවයෙන්ම ආත්මාර්ථකාමී ය, ආක්‍රමණශීලී ය “ස්වභාවික තත්වයෙන්” බේරීමට නිරපේක්ෂ වූ රාජාණ්ඩුවක් පිළිබඳ ඔහු කතා කරයි. මිනිසුන්ගේ සියලු අයිතිවාසිකම් සර්වබලධාරියෙකුට භාර දෙයි; එසේ දෙනු ලබන්නේ ආරක්ෂාව සහ පිළිවෙල ඇති කිරීම සඳහා ප්‍රමුඛත්වය දෙනු ලැබීමෙනි. පූර්ව නූතන එංගලන්තයේ පැවැති රාජාණ්ඩුවේ ඇති වූ ගැටුම් මුල්කර ගනිමින් හොබ්ස්ට මෙම සමාජ ගිවිසුම පිළිබඳ කතා කිරීමට සිදු වී ඇත.
ජෝන් ලොක් (1689 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංග්‍රහ දෙකක් තුළ කතා කරයි): ගිවිසුම යන්න ස්වභාවික අයිතිවාසිකම් (ජීවිතය, නිදහස සහ දේපළ) ආරක්ෂා කිරීමේ මාර්ගයක් ලෙස දුටුවේය. රජයට පාලිතයින්ගේ කැමැත්ත තිබිය යුතු අතර රාජ්‍යය විසින් අයිතිවාසිකම් උල්ලංඝනය කළහොත් එය පෙරලා දැමිය හැකිය යන්න ලොක්ගේ අදහස විය.
ජෝන් ලොක් ශුභවාදී දැක්මක් පෙන්නුම් කරන අතර මිනිසුන් තාර්කික සහ සහයෝගයෙන් කටයුතු කිරීමට හැකියාව ඇති බව ඔහු පෙන්වා දෙයි. ස්වභාවික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ජීවිතය, නිදහස සහ සීමිත දේපළ, ව්‍යවස්ථාමය රජය, එහි කැමැත්ත මත පදනම් විය යුතුය; අයිතිවාසිකම් උල්ලංඝනය වුවහොත් කැරලි ගැසීමට පුරවැසියන්ට අයිතියක් ඇත. මෙම යුගයේ දී ලොක් විසින් ගෙන ලද මෙම අදහස විප්ලවීය පියවරක් ලෙස සැලකිය හැකි ය.
සියලුම සමාජ ගිවිසුම් න්‍යායවාදීන් මෙන් ලොක් විසින් හොබ්ස්ගේ ස්වභාවික රාජ්‍යයේ ක්රමවේදී උපාංගයන් යොදා ගන්නා අතර, ඔහු එය භාවිතා කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් අවසානයකටය. සමාජ ගිවිසුම හා ඇති තර්කයන්වලින් පුරවැසියන්ට තම රජුට එරෙහිව කැරලි ගැසීමේ ඇති අයිතියට සැපයූ අවස්ථාව ඉන් පසුව ඇති වූ ප්රජාතන්ත්රවාදී විප්ලව කෙරෙහි, විශේෂයෙන් තෝමස් ජෙෆර්සන් සහ එක්සත් ජනපදයේ නිර්මාතෘවරුන්ට, බෙහෙවින් බලපෑවේය.
ජීන්-ෂාක් රූසෝ (1762 දී සමාජ ගිවිසුම/ The Social Contract): ජනතාවගේ “පොදු කැමැත්ත (commen will/ general will”) සහ සාමූහික පාලනය (governance ) පිළිබඳ අවධාරණය කළේය. ඔහු වඩාත් ප්රජාතන්ත්රවාදී සහ සහභාගීත්ව රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටියේය.
රූසෝ පවසන්නේ මිනිසුන් යහපත් නමුත් සමාජයෙන් දූෂිත වී ඇති බවයි. “පොදු කැමැත්ත” මගින් පාලනය වන ප්‍රජාවක් නිර්මාණය කිරීමට සෘජු ප්රජාතන්ත්රවාදය මගින් සාමූහික ස්වයං පාලනය හරහා නිදහසත්; නීති මගින් පොදු කැමැත්ත පිළිබිඹු කළ යුතුය යන්න ඔහුගේ සම්මුතිය වන්නේ ය.
ඊට අමතරව ජෝන් රෝල්ස් John Rawls (20 වන සියවස) විසින් මතු කරනු ලබන්නේ මිනිස් ස්වභාවය සාධාරණ තත්වයන් යටතේ තාර්කික නමුත් ආත්මාර්ථකාමී බව ය. සාධාරණත්වය තුළින් යුක්තිගරුක සමාජයක් ස්ථාපිත කිරීම අරමුණු වන්නේ ය. මේ සඳහා ලිබරල් ප්රජාතන්ත්රවාදය සහිත ශක්තිමක් ආයතන අවශ්‍ය බව කියයි. “නොදැනුවත්කමේ වැස්ම” (“veil of ignorance”) සමාජයේ කෙනෙකුගේ ස්ථානය නිසි ලෙස නොදැන තෝරාගත් සාධාරණ නීතිවලින් පවතින බව ඔහුගේ ප්‍රධාන ප්‍රවාදය වන්නේ ය.
නූතන අර්ථයෙන්
සමාජ ගිවිසුම නූතන ප්රජාතන්ත්රවාදයේ, නීති පද්ධතිවල සහ සිවිල් අයිතිවාසිකම්වල පදනමයි. පුද්ගලයන් නීති අනුගමනය කරන්නේ සහ බදු ගෙවන්නේ මන්දැයි එය පැහැදිලි කරයි: මන්ද එසේ කිරීමෙන් ඔවුන්ට ආරක්ෂාව, යටිතල පහසුකම් සහ ක්‍රියාකාරී සමාජයක් ලැබේ.
හොබ්ස්, ලොක්, රූසෝ සහ ජෝන් රෝල්ස්, 20 වන සියවසේ සමාජ ගිවිසුම් න්‍යාය නවීන පෙරළියකින් පුනර්ජීවනයක් ඇති කළ චින්තකයින් ලෙස හඳුනාගත හැකි වේ. මේ මගින් මිනිස් ස්වභාවය පිළිබඳ දාර්ශනික දැක්මන් ඔස්සේ සමාජ ගිවිසුමේ අරමුණ තුළ පරමාදර්ශී රාජ්‍යයක් පැවැතිය යුත්තේ කෙසේද යන ප්‍රධාන අදහස් සංසන්දනය කළ හැකි ය. ඔවුන්ගේ ප්‍රධාන සංකල්ප සංක්ෂිප්ත කළහොත්;
හොබ්ස් (ලෙවියාතන්, 1651) ගේ රාජ්‍යයේ ස්වභාය වන්නේ සියල්ලන්ට එරෙහිව සියල්ලන්ගේ යුද්ධය. ආරක්ෂාව වෙනුවෙන් මිනිසුන් නිදහස අත්හැරීම මෙන්ම ශක්තිමත් මධ්‍යගත අධිකාරියක් අවශ්‍යයි යන්න ය.
ලොක් (රජයේ ගිවිසුම් දෙකක්, 1689) ගේ රාජ්‍යය ස්වභාවයට ස්වාභාවික අයිතිවාසිකම් අහිමි කළ නොහැකි ය යන්න ය. සමාජ ගිවිසුම විසින් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා රාජ්‍යය නිර්මාණය කර ගනී. එම රාජ්‍යය අසමත් වුවහොත් ඊට එරෙහිව විප්ලවය කිරීමේ අයිතිය ඇත.
රූසෝ (සමාජ ගිවිසුම, 1762) ගේ යෝජනාව වන්නේ නීත්‍යානුකූල (සුජාත වූ) අධිකාරිය ජනතාවගෙන් පැමිණේ. සාමූහික පාලනය තුළින් ලබා ගන්නා නිදහස පුද්ගල නිදහස වේ. සමාජය විසින් පොදු කැමැත්ත (general will ) පිළිබිඹු කළ යුතුය යන්න ය.
රෝල්ස් (යුක්තිය පිළිබඳ න්‍යායක්, 1971) ගේ අදහස යුක්තිය සාධාරණත්වය ලෙස සැලකීම ය. “නොදැනුවත්කමේ වැස්ම” “veil of ignorance” පිටුපස මවාගත් සමාජ ගිවිසුම ඔහු මතු කර පෙන්වයි. අවස්ථා සමානාත්මතාවය සහතික කරන අතර අවම ප්රතිලාභ සහිත පුද්ගලයින් ආරක්ෂා කිරීම කළ යුතු බව අවධාරණය වේ.
අපි මේ කතා කරන්නේ බටහිර ලෝකය තුළ ඇති වූ අදහස් ය. බටහිර දර්ශනයන් බොහෝ විට පුද්ගල අයිතිවාසිකම් සහ සමාජ ගිවිසුම් නිදහස් පුද්ගලයින් අතර ගිවිසුම් ලෙස අවධාරණය කරන බව පෙන්නුම් කරයි. නමුත් අපි ජීවත් වන්නේ පෙරදිග බැවින්, එහි දාර්ශනික පදනම්වලින් අපට කොතරම් දුරට සමාජ සම්මුතිය ගොඩ නගා ගැනීමට බලපෑම් කර ඇති ද යන්නත් සොයා බැලිය හැකි ය. පෙරදිග දර්ශනයන් විවිධ සංස්කෘතික හා අධ්‍යාත්මික පදනම් වලින් සමාජයට සහ පාලනයට ප්‍රවේශ වීමට නැඹුරු වේ. ප්‍රධාන සම්ප්රදායන්ගෙන් උදාහරණ සහිතව, සමාජ සමගිය, අධිකාරිය සහ සමාජයට අදාළ අදහස් උකහා ගත හැකි වේ.
බටහිර දර්ශනවාදයේ ඉතිහාසය තුළ විකාශනය වූ නූතන අදහස් රාජ්‍යය සහ ජාතිය ගොඩ නැගීමේ සංකල්ප ලෙස කැපී පෙනෙන්නේ වුවත්, පෙරදිග සම්බන්ධයෙන් එවැනි ඓතිහාසික පරිනාමයකින් යුතුව බටහිර හඳුන්වන “නූතන යුගය” පෙරදිගට අනන්‍ය වූ ආකාරයට ප්රකාශමාන කිරීමට නො හැකි වී ඇත. ඊට හේතුව වන්නේ එඩ්වඩ් සයිද් සඳහන් කරන්නාක් මෙන් පෙරදිග යන්න බටහිරෙහි පරිකල්පනයක්ම වීම ය. මන්ද නූතන යුගය යනු ධනවාදයේ නැගීම සහ ව්‍යාප්තිය යි. මෙම ව්‍යාප්තිය පෙරදිග පුරා ද පැතිර යන්නට වූයේ සම්පත් අත්පත් කර ගැනීමේ අරමුණින් අධිරාජ්‍යවාදය සහ යටත් විජිතවාදය ඔස්සේ ය. පෙරදිග පැවැති රාජ්‍යයන් සහ ජාතීන් බටහිර ධනවාදය විසින් විපරිත කිරීම හේතුවෙන්, එම සමාජයන්ගේ රට රාජ්‍යය යන්න ද නූතන අර්ථයෙන් “ නූතන ජාතික රාජ්‍ය” බටහිර පරමාදර්ශී ආකෘතිකමය සැකසුම් බවට ධනේෂ්වර සම්බන්ධතා හරහා ගොඩ නැගෙන්නට වීම සුවිශේෂී ය. එම හේතුවෙන් අපිට පෙරදිග වෙත යළි සුවිශේෂීව අවධානය යොමුකරන්නේ නම් පෙරදිග පැරුණි ඉතිහාසයන්ගේ පැවැති දාර්ශනික සම්ප්රධාන් වෙත මිස ඉන් මෙහා ඇති පෙරදි පූර්ව නූතන සංකල්ප යැයි සැලකිය හැකි දේවල් කරා යොමු වීම කොතරම් ගැලපේද යන්න ගැන සිතිය යුතු වන්නේ ය.
මේ අනුව සමාජ පිළිවෙල සහ සමගිය පිළිබඳ පෙරදිග අදහස් ලෙස කොන්ෆියුසියස්, තාවෝ, නීතිවාදය, බුදු දහම, හින්දු දහම ආදී දර්ශනයන් තුළ සමාජ ගිවිසුම සම්බන්ධ අදහස් සමාජයක් ලෙස අපට කොතරම් වැදගත් දැයි සොයා බැලීම වැදගත් වන්නේ එම අදහස් පෙරදිග සමාජය තුළ තවමත් සංස්කෘතික හා අචාරධාර්මික අගයන් ලෙස පවතින නිසා මෙන්ම, එම සාරයන් පිළිබඳ නැවත සලකා බැලීමට පරිසරයක් සකස් කරන ගැටුම්කාරී සමාජයක් ගොඩ නගා ඇති හෙයිනි.
තුන් වැනි කොටසින් පෙරදිග සමාජ සම්මුතීන් හා සම්බන්ධ ලිපිය බලාපොරොත්තු වන්න
උදය ආර්. තෙන්නකෝන්